නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙසැම්බර් 18 දා

දිගු කාලයක් තිස්සේ බොහෝ දෙනා ඉතාමත් අපේක්ෂා සහගතව බලා සිටි නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාෂ ගත කිරීම දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය සහ මේ ව්‍යාපෘතියේදී නාසා ආයතනයට සහය දක්වන යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) පසුගිය දා වාර්තා කර තිබුනා.

ඒකාබද්ධ ප්‍රකාශණයක් මඟින් ඒජන්සි දෙක නිවේදනය කළේ, කලින් නියම කරන ලද අභ්‍යවකාශගත කිරීමේ දිනයට සති හයකටත් වඩා වැඩි කාලයකට පසුව, එනම් දෙසැම්බර් 18 දා මෙම දුරේක්ෂය දියත් කිරීමට ඉලක්ක කර ඇති බව ය. 1990 චශකයේ සිට ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට මෙවන් වූ බාධා ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට ඉහතදීත් මෙම ව්‍යාපෘතියේ කාල රාමුව සම්බන්ධ විවිද වෙනස්වීම් මෙන්ම ව්‍යාපෘතියේ වියදම් සැලසුමත් අවස්ථා කිහිපයකදීම වෙනස් කරන්නට ව්‍යාපෘතිය හා සම්බන්ධ විද්‍යාශයින්ට සිදු වුනා.

” වසර ගණනාවක් තිස්සේ මේ ව්‍යාපෘතියට සිය ශ්‍රමය වැය කල දහස් ගනනක් මිනිසුන් සහ ලොව පුරා මිලියන ගනනක් වූ අභ්‍යවකාශ විද්‍යාවට ආදරය කරන්නන් අපේක්ෂා සහගතව සිටි ඒ ඓතිහාසික දිනය දැන් අපි දනිමු” යනුවෙන් ඊඑස්ඒ හි විද්‍යා අධ්‍යක්ෂ ගොන්තර් හසිංගර් ඒජන්සි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය. “ජේම්ස් වෙබ් දුරේකෂය එය දියත් කරන ඒරියන් 5 රොකට්ටුව දැන් සූදානම් ඒ අනුව එළඹෙන දෙසැම්බරයේදී යුරෝපයේ අභ්‍යවකාශ තොටුපලක සිට මේ අධි තාක්ෂණික දුරේක්ෂය දියත් කිරීමේ අවස්ථාව වන තෙක් අපි බලා සිටිමු.”

දුරේක්ෂය දියත් කිරීම සඳහා කලින් සූදානම් කරගෙන තිබූ දිනය වූයේ ඔක්තෝබර් 31 දිනයයි. නමුත් නාසා ආයතනයේ සහකාර පරිපාලක තෝමස් සර්බුචෙන් මෙම දිනය ප්‍රායෝගික නොවන බව ජූනි මාසයේදී ප්‍රකාශ කර සිටියේ එවකට පැවති තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනුයි.

මෙම දුරේක්ෂය කැලිෆෝනියාවේ දැනට තිබෙන ස්ථානයේ සිට ප්‍රංශ  ගයනා හි කූරෝ හි පිහිටි ඊඑස්ඒ හි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැව් ගත කර නොමැති අතර, ඇස්තමේන්තු අනුව ඒ සඳහා නැව්ගත කිරීමේ සිට සති 2 ක පමණ කාලයක් අවශ්‍ය වේ. මීට අමතරව, ඊඑස්ඒ ප්‍රකාශයකට අනුව, නිරීක්ෂණාගාරය දියත් කරන ඒරියන් 5 රොකට්ටුව මේවන විටත් ප්‍රංශ ගයනා දූපත් වෙත ළඟාවී තිබෙනවා..

කූරෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී දුරේක්ෂය ඒරියන් 5 රොකට්ටුවේ විශේෂ කුටීරයක තැන්පත් කරනු ලබන අතර, ඊට අමතරව දුරේක්ෂයේ අවසාන පරීක්ෂාවන් සහ ඊට අවශ්‍ය ඉන්ධන යනාදිය සැපයීමද මෙහිදී සිදු කෙරෙනු ඇති.

දැනටත් ඉතා සාර්ථක අභ්‍යවකාශ ප්‍රවාහන යානයක් ලෙස නම් දරා ඇති ඒරියන් 5 රොකට්ටුව මෙම දුරේක්ෂය සාර්ථකව අභ්‍යවකාශය කරා රැගෙන යනු ඇති බවට ව්‍යාපෘතිය හා සම්බන්ධ විද්‍යාඥයින් බලාපොරොත්තු සහගතව සිටිනවා. රොකට්ටුව අභ්‍යවකාශය කරා යන මුල් විනාඩි කිහිපය මෙම ව්‍යාපෘතියේ ඉතාම තීරණාත්මක විනාඩි කිහිපයද වනු ඇති.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කළ පසු, අභ්‍යවකාශ යානය මාසයක් පමණ කාලයක් තිස්සේ පෘථිවියේ සිට සැතපුම් 930,000 ක් (කිලෝමීටර් මිලියන 1.5 ක්) ඈතින් ඇති එහි ගමනාන්තය වන දෙවන ලැග්‍රේන්ජ් ස්ථානය (එල් 2) දක්වා ගමන් කරයි. ඒ අනුව මෙම දුරේක්ෂය සූර්යයාගෙන් පෘථිවියට විරුද්ධ පැත්තේ චන්ද්‍රයාගෙනුත් ඈත කක්ෂයක සාපේක්ෂව ස්ථායි  ලෙස ස්ථානගත වනු ඇති. මෙම දුරේක්ෂයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා එය ස්ථානගත කරන කක්ෂය ඉතා වැදගත් වන අතර දුාර්ක්ෂයේ ඇති අධෝරක්ත නිරීක්ෂණ හැකියාවන්ට බාධා පමුණුවන සූර්ය කිරණ වලින් හොඳින් ආරක්ෂා විය යුතුය.

අදාල කක්ෂයේ නිසි පරිදි ස්ථාන ගතවීමෙන් පසුව මාස දෙක තුනක් පමණ යන තෙක් දුරේක්ෂයේ සූර්ය විකිරණාවරකය, අදාල දර්පණ ඇතුලු උපාංග නිසි පරිදි දිග හැරී ස්ථාන ගත වීම සිදු වනු ඇති. මෙම ක්‍රියාවලිය ලෝක අභ්‍යවකාශ ගවේශණ ඉතිහාසයේ මෙතෙක් සිදුකර ඇති සංකීර්ණතම ක්‍රියාවලියක් වනු ඇති. ඒ අනුව දුරේක්ෂයේ නිරීක්ෂණ කටයුතු නිසි පරිදි ආරම්භ වීමට එය දියත් කිරීමේ සිට මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවට විද්‍යාඥයින් පවසනවා.

හබල් දුරේක්ෂයෙන් ඔබ්බට

පෘථිවිය මතදී විශේෂයෙන්ම වායුගෝලයෙන් සහ සූර්යයාගෙන ඇතිවන බලපෑම් මඟහරවා ගනිමින් අභ්‍යවකාශය නිරීක්ෂනය කිරීම සඳහා අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතා කරනවා. මේ වනවිටත් එවැනි අභ්‍යවකාශ දුරේක්ෂ කිහිපයක්ම භාවිතයට එක්කර තිබෙනවා. ඒවායින් වඩාත් ප්‍රචලිත කවුරුත් දන්නා අභ්‍යවකාශ දුරේක්ෂය වන්නේ හබල් අභ්‍යවකාශ දුරෙක්ෂයයි. පසුගිය වසර 30 ක කාලයක් පුරාවට පෘථිවය වටා කක්ෂයක රැඳෙමින් අප අවට විශ්වය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සපයා දීමට හබල් දුරේක්ෂයට හැකියාව ලැබී තිබෙනවා.

ජේම්ස් වෙබි දුරේක්ෂය හබල් දුරේක්ෂය මෙන්ම අභ්‍යවකාශ දුරේක්ෂයක් වුවත් එහි ඉතා වැදගත් වෙනස්කම් ගනනාවක් දක්නට ලැබෙනවා. ඉන් ප්‍රධානතම වෙනස වන්නේ දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා තැබීමට බලාපොරොත්තුවන ස්ථානයයි. හබල් දුරේක්ෂය පෘථිවයට කිලෝමීටර 540 ක් පමණ උසකින් පහල පෘථිවි කක්ෂයක රඳවා තබා ඇති අතර, ජේම්ස් වෙබ් දුරේක්ෂය රෑඳවීමට බලාපොරොත්තු වන්නේ පෘථිවියේ සිට ක්ලෝමීටර සිලියන 1.5 ක් ඈතින් සූර්යයාට විරුද්ධ දිශාවේ පිහිටන L2 නම් සුවිශේෂි ස්ථානයේයි. ඒ අනුව මෙම දුරේක්ෂය පෘථිවිය වටා කක්ෂගත වීමක් සිදුවන්නේ නැහැ.

හබල් දුරේක්ෂය හා සඳට සාපේක්ෂව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිහිටුවීමට බලාපොරොත්තු වන විශේෂ ස්ථානය (L2) (Image – NASA website)

මීට අමතරව හබල් දුරේක්ෂයට වඩා නිහිප ගුණයකින් විශාල දුරේක්ශයක් ලෙස ජේම්ස් වෙබ් දුරේක්ෂය හඳුන්වන්නත් පුළුවන්. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණය මීටර 6.5 ක විශ්කම්භයකින් යුතු වන අතර, හබල් දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණයේ විශ්කම්භය වුනේ මීටර 2.5 ක් පමණයි.

හබල් දුරේක්ෂයට සාපේක්ෂව ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණය වර්ගඵලය අතින් 6.25 ගුණයක් විශාල වනවා. (Image – NASA website)
ජේම්ස් වෙබ් ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් පිරිසක් ප්‍රාථමික දර්පණයේ එක් දර්පන කොටසක් සිය නිරීක්ෂණයන්ට ලක්කරණ අයුරු. මෙම ශඩාස්‍රාකාර දර්පණ කොටස් 18 කින් යුක්ත වනු ඇති. (Image – NASA website)

හබල් දුරේක්ෂය අභ්‍යවකාශ ක්‍නිරීක්ෂණයන් සඳහා මූලිකව දෘශ්‍ය සහ පාරජම්බුල කලාපයන්ට අයත් තරංග භාවිතා කල අතර, අධොරක්ත කලාපයේ තරංග යොදා ගැනුනේ ඉතා සීමිතවයි. නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය මූලිකව අධෝරක්ත කලාපයේ තරංග සිය අභ්‍යවකාශ නිරීක්ෂණයන් සඳහා යොදා ගනු ඇති.

විශවයේ අතීතය දෑස හමුවට ගෙනෙන විශ්ම දර්පණය

දුරේක්ෂයක් යනු සැබැවින්ම අපේ අතීතයට අප කැඳවාගෙන යන කාල යාත්‍රාවකි. ඒ අනුව හබල් දුරේක්ෂයට මීට වසර බිලියන 13.5 ක් පමණ වන අතීතයට අප කැඳවා යා හැකි වනු ඇත. ඒ විශවයේ ආරම්භය යැයි අප සිතන මහා පිපිරුම ආසන්නයටයි. මේ නිසා විශ්වයේ ආරම්භය හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ජේම්ස් වෙබ් දුරේක්ෂය හරහා අප හට දැන ගත හැකි වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.