පර්සිඩ් උල්කාපාත වර්ශාව නරඹමු

පර්සිඩ් උල්කා වර්ෂාව, රාත්‍රී අහසේ දැකිය හැකි ඉතාමත් විශ්මය ජනක හා අද්විතීය සංසිද්දියක් වනඅතර එය මේ වසරේ එහි උපරිම අවස්ථාව අගෝස්තු 12, 13 වන දින රාත්‍රියේ දැකිය හැකිය.

පැය කිහිපයක් තුල 15 සිට 200 දක්වා වූ උල්කාපාත සංඛ්‍යාවක් නැරඹීමේ හැකියාව මේ උල්කාපාත වර්ශාවේදී අප හට ලැබෙන අතර, මෙය අහසේ උතුරු අර්ධ ගෝලය කේන්ද්‍ර කරගෙන සිදුවන ඉතා අලංකාර විද්‍යාත්මක සංසිද්ධියකි. එමෙන්ම මෙය ඕනෑම කෙනෙකුට පියවි ඇසින් නැරඹීමට හැකි වීමත් තවත් විශේෂත්වයකි.

රාත්‍රී අහසේ දිදුලන ගිනි බෝල අකාරයේ විශාල උල්කාපාත සඳහා ප්‍රසිද්ධ මේ උල්කාපාත වර්ශාව හටගන්නේ ස්විෆ්ට් ටටල් නැමති වල්ගා තරුව ගමන්කල දුහුවිලි සහ පාශාණ අංශු විසිරුන ගමන් පථය තුලින් පෘථිවිය ගමන් කරද්දීය. පර්සිඩ් උලකාපාත ලෙස අප දකින්නේ මෙම ස්විෆ්ට් ටටල් වල්ගාතරුවේ විසිරුන කුඩා අංශු පෘථිවි වායුගෝලය හා ගැටී දැවී විනාශ වන අවස්ථාවයි.

පර්සිඩ් උල්කාපාත වර්ෂාව නැරඹිය යුත්තේ කවදාද?

තාරකා විද්‍යාඥයින්ට අනුව, බොහෝ විට මෙම සිදුවීමෙන් අගෝස්තු 11, 12 සහ 13 යන දිනවල වැඩිම උල්කාපාත සංඛ්‍යාවක් ජනනය වන අතර, නැරඹීමට හොඳම කාලය වනුයේ මේ දිනවල මධ්‍යම රාත්‍රියේ සිට අලුයම දක්වා කාලයයි. Earthsky.org ට අනුව, මෙම උල්කාපාත වර්ශාවේ උච්චතම අවස්ථාවකදී ඔබට පැයකට උල්කා 60 ක් දක්වා නැරඹිය හැකිය. 12, 13 දින වලින් පසුවත් තවත් දින 10 ක පමණ කාලයක් මෙම උල්කාපාත වර්ශාව අළුයම් කාලය ආශ්‍රිතව ඔබට නිරීක්ෂණය කල හැකි වනු ඇත.

පර්සිඩ් උල්කාපාත වර්ෂාව හොඳටම පේන්නේ කොහාටද?

පර්සිඩ් උල්කාපාත වර්ශාවේ කේන්ද්‍රය ලෙසට එසේත් නැත්නම් උල්කාපාත හටගන්නවාක් මෙන් පෙනෙන ලක්ශය වන්නේ පර්සිඩ් නම් තාරකා රටාවයි. මෙය අහසේ මඳක් උතුරු පැත්තට වන්නට පිහිටන නිසා, මෙම උල්කාපාත වර්ශාව හොඳින්ම දැකගත හැක්කේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ වෙසෙන ජනතාවටයි. නමුත් සමකාසන්න රටවල අපිටත් එතරම් අඩුවක් නොමැතිව මෙම උල්කාපාත වර්ශාව නැරඹීමට අවස්ථාව හිමිවෙනවා. උල්කාපාත වර්ශාව නැරඹීමට නම් අලෝක දූශණය අවම ස්ථානයක් ඒ සඳහා තෝරා ගත යුතුය. විශේෂයෙන්ම දීපිත්මත් ආලෝක බහුල නගර ආශ්‍රිතව මෙම උල්කාපාත දර්ශණය වන්නේ ඉතා අඩුවෙනි. මේ නිසා හැම විටම ආලෝකය නොමැති පැහැදිලි අඳුරු අහසක් පෙනෙන ස්ථානයක් මේ උල්කාපාත වර්ශාව නිරීක්ෂණය සඳහා වඩාත් උචිතය. එමෙන්ම මේ දිනවලදී සඳ රාත්‍රී 11.30 පමණ වන විට බටහිර අහසෙන් බැස යන නිසා උල්කාපාත නිරීක්ෂනයට වඩාත් උචිත අහසක් මේ දිනවල අළුයම් කාලයේදී දැකිය හැක.

උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා, සුවපහසු ස්ථානයක් සොයා ගත් පසු, හැකිතාක් දුරට ආලෝක එළියෙන් වැළකී සහ ඔබේ ඇස්වලට අඳුරට හැඩ ගැසීමට පැය භාගයක පමණ කාලයක් ලබා දිය යුතුය. එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා ඔබට කිසිදු උපකරණයක් අවශ්‍ය නොවේ.

පර්සිඩ් උල්කාපාත වල උපත?

පර්සිඩ් උල්කාපාත හටගන්නේ 133 කට වරක් සූර්යයා වටා භ්‍රමණය වන 109 පී/ස්විෆ්ට්-ටට්ල් නම් ධූමකේතුවෙන් විසිරුණ කුඩා පාශාණ කැබලි වලිනි.  මෙම ධූම කේතුව 1862 දී මුලින්ම සොයාගත් ලුවිස් ස්විෆ්ට් සහ හොරස් ටට්ල්ගේ නමින් නමින් එය ස්විෆ්ට් ටටල් ලෙස නම් කර ඇත. මෙම වල්ගා තරුව පෘථිවියෙන් ඩයිනෝසරයන් වඳ වී යාමට හේතු වූ ග්‍රහකය මෙන් දෙගුණයක් පමණ විශාලයයි සොයාගෙන තිබේ. මෙය අවසාන වතාවට පෘථිවිය අසලින් ගමන් කලේ 1992 දීය. මෙම උල්කාපාත වර්ශාවට එම නම ලැබෙන්නේ එම උල්කාපාත විහිදෙනවාක් මෙන් පෙනෙන කේන්ද්‍රීය ලක්ශය පර්සියස් තාරකා මණ්ඩලය ආශ්‍රිතව පිහිටා ඇති නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.