තොරතුරු හොයන්න යානා දෙකක් අද සිකුරු ආසන්නයට!

අපේ සෞරග්‍රහ මණ්ඩලය යනු රහස් ගොඩාක් සඟවා ගත් තැනක්. දැනට අවුරුදු ගනනාවක් තිස්සේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගවේශණය කලත් අප තවමත් මේ ග්‍රහවස්තූන් ගැන නොදත් දෑ බොහොමයි. මේ ග්‍රහලෝක ගවේශණයේ අළුත් පිටුවක් පෙරලමින් සිකුරු ග්‍රහයා ආසන්නයෙන් පෘථිවියෙන් යැවූ අභ්‍යවකාශ යානා දෙකක් අද සහ හෙට ගමන් කිරීමට නියමිත ව තිබුනා.

මෙම යානා දෙකම සිකුරු ග්‍රහලෝකයෙහි ගුරුත්වාකර්ශණය යොදා ගනිමින් සෞරග්‍රහමණ්ඩලයේ කේන්ද්‍රය දක්වා ගමන් කරනු ඇති. මෙම අභ්‍යවකාශ යානා දෙකෙන් පළමු වැන්න වන Solar Orbiter යානය සිකුරු ග්‍රහලොව අසලින් ගමන් කරන්නේ සූර්යයා වටා කක්ෂ ගත වීමට යන අතර තුරයි. එය අගෝස්තු මස 9 වන අද දින උදෑසන 10.12 (04:42 UTC) ට සිකුරු ග්‍රහලෝකයේ මතුපිටට කිලෝමීටර 7995 ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබුනා. ඒ අනුව මෙම යානය මගින් ඉතිහාසයේ පලමු වරට සූර්යයාගේ ධ්‍රැවාශ්‍රිත කලාපයන් නිරීක්ෂණය ගත කරනු ඇති. මෙම Solar Orbiter ව්‍යාපෘතිය යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නක්.

Solar orbiter යානය සූර්යයා බලා යන සිය ගමනේදී සිකුරු ආසන්නයට පැමිණෙන දෙවන අවස්ථාව මෙයයි. (Source ESA website)

Solar Orbiter යානය සිකුරු ආසන්නයෙන් ගමන් කර පැය කිහිපයකට පසුව, යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ ජපාන අභ්‍යවකාශ ගවේශණ ඒජන්සිය එක්ව ක්‍රියාත්මක කරන Bepicolombo ව්‍යාපෘතිය යටතේ අභ්‍යවකාශ ගත කෙරුණ BepiColombo යානයද සිකුරු ආසන්නයෙන් ගමන් කරනු ඇති. ඒ අනුව මේ යානය අගෝස්තු 10 වනදා ලංකා වේලාවෙන් සවස 7.18 ට සිකුරු ග්‍රහලෝකයේ මතුපිටට කිලෝමීටර 550 ක් පමණ ආසන්නයෙන් ගමන් කරනු ඇති. BepiColombo යානය මේ ආකාරයට සිකුරු ග්‍රහයා ආසන්නයෙන් ගමන් කරන්නේ සෞරග්‍රහමණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වන බුධ ග්‍රහලෝකය දක්වා යන ගමනේදියි. මෙම යානය බුධ ග්‍රහලෝකය වටා කක්ෂ ගතවීමට සූර්යයාගේ දැඩි ගුරුත්වය හා දැඩි සටනක් කිරීමට සිදුවනු ඇති. BepiColombo යානයට එම නම ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨ ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වන Giuseppe (Bepi) Colombo හට උපහාර පිනිසයි.

BepiColombo ව්‍යාපෘතිය ගැන විස්තර කෙරෙන ESA වීඩියෝවක් (Source ESA website)

මෙම යානා දෙකටම මෙම සිකුරු හමුවේදී ඉහල විභේදනයකින් යුත් ඡායාරූප ලබාගත නොහැකි වනු ඇති. Solar Orbiter යානයේ ප්‍රධාන කැමරාව මේ අවස්ථාවේදී සූර්යයා දෙසට යොමුව තිබෙනු ඇති අතර BepiColombo යානයේ ප්‍රධාන කැමරාව යානයේ මොඩියුලයක් මඟින් ආවාරණය වී පවතිනු ඇති. නමුත් BepiColombo යානයේ ඇති අමතර කැමරා ද්විත්වයක් මඟින් 1024×1024 ප්‍රමාණයේ සිකුරු පෘෂ්ඨයේ ඡායාරූප ලබාගනු ඇති. මෙම ඡයාරූප 10 සහ 11 දින වලදී පෘථිවියේ පාලක මැදිරිය වෙත ලැබීමට නියමිතය.

ඡායාරූප වලට අමතරව මෙම යානා ද්වීත්වය මඟින් සිකුරු ග්‍රහලොව ආශ්‍රිත චුම්බක ක්ෂේත්‍රය ඇතුළු තවත් නිර්ණායක කිහිපයක් පිළිබඳව දත්ත එක්රැස් කරනු ඇති බවට යූරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා. එමෙන්ම මෙම දත්ත සිකුරු ග්‍රහලෝකයේ පාරිසරික තත්ත්වයන් පිළබඳ අධ්‍යනයටත් 2030 දී සිකුරු බලා යැවීමට නියමිත EnVision වැනි ව්‍යාපෘති සඳහා යොදාගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වනවා.  

BepiColombo යානයේ ලාංකික සලකුණ

මෙම ව්‍යාපෘති ද්විත්වයෙන් BepiColombo ව්‍යාපෘතියට දායකත්වය ලබාදුන් පර්යේෂණ කණ්ඩායමේ ලාංකික නියෝජනයකුත් තිබුණා.  ඒ තමයි අභ්‍යවකාශ ඉංජිනේරු මහිලාල්ද සිල්වා මහතා. AirBus සමාගමට අනුයුක්ත ප්‍රධාන ඉංජිනේරුවෙකු වන මහිලාල් ප්‍රමුඛ ඉංජිනේරු කණ්ඩායමක් මෙම BepiColombo යානය සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන්නා. වර්තමානයේදී ඔහු තවත් වසර දෙකකින් අඟහරු දක්වා යැවීමට නියමිත ExoMars රෝවරයෙහි නිර්මාණ කාර්යය සඳහා දායක වන ඉංජිනේරු කණ්ඩායමකට නායකත්වය ලබාදෙමින් සිටිනවා.

BepiColombo යානයේ ලාංකික සලකුණ, BepiColombo ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉංජිනේරු මහිලාල් ද සිල්වා

ඉසිපතන, රාජකීය සහ ලයිසියම් පාසැල්වල ආදි සිසුවකු වන මහිලාල් සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ එංගලන්තයේ කිංග්ස්ටන් සරසවියයි. එහිදී ගුවන් යානා තාක්ෂණය පිළිබඳව උපාධිය ලබා ගන්නා ඔහු අනතුරුව AirBus ආයතනය හා සම්බන්ධ වනවා. එහිදී විවිධ අංශ ගනනාවක සේවය කිරීමෙන් අනතුරුවයි BepiColombo අභ්‍යවකාශ යානයේ ප්‍රධාන කාර්මික ඉංජිනේරු වරයා ලෙස වැඩ බාර ගන්නේ. 2018 දී BepiColombo යානය අභ්‍යවකාශ ගතකරන අවස්ථාව වනතෙක් ඔහු සිය කණ්ඩායම කාර්යක්ෂමව මෙහෙයවමින් මෙම අභ්‍යවකාශ යානයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා.  

කිංග්සටන් සරසවියේ වෙබ් අඩවිය සඳහා අදහස් දක්වමින් මහිලාල් මෙසේ ප්‍රකාශ කර තිබුණා, “මෙම අංශය විශේෂිත තාක්ෂණින අංශයක් බැවින් ඉංජිනේරු මූලධර්ම ඉගෙනීම සහ මෙම අංශයේ අත්‍යාවශ්‍ය අත්දැකීම් වර්ධනය කර ගැනීම ඉතා වැදගත් ය. නමුත් ඒ සියල්ලටම වඩා මේ හා සම්බන්ධ වන අප මෙතුල ජීවත් වෙමින් අප කරන දේ පිළිබඳ දැඩි ඇල්මක් සහ ආශාවකින් කටයුතු කළ යුතුය.“
“මම කුඩා අවධියේ අභ්‍යවකාශය ගැන නොසංසිදෙන කුතුහලයකින් යුතුව සෑම දෙයක් ගැනම ඉගෙන ගැනීමේ දැඩි ආශාවකින් පෙළුණා, එමෙන්ම මේ විශ්වයේ අපි තනි ජීවී කොට්ඨාශයක් විතරද යන ප්‍රශ්නය ගැන නිතරම මම සිතමින් සිටියා. ඒ වගේ පසුබිමක් සහිත ලමා කාලයක් ගෙවූ මට මෙවන් ව්‍යාපෘති වලට සම්බන්ධ වීමට ලැබීමම මා ලැබූ මහඟු භාග්‍යයක් මෙන්ම මගේ කුඩා කල සිහින සැබෑ වීමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.“ මහිලාල් තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.