ඔක්ස්ෆර්ඩ් කොවිඩ් සටනේ අත්දැකීම් ඔස්සේ මැලේරියාවටත් එන්නතක්

ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒකසෛලිකයින් විසින් ඇතිකරනු ලබන මැලේරියාව වසර ගනනක් පුරාවටම ලොව විවිධ රටවල ජනතාව මරුවා වෙත රැගෙන යන අතිශය භයානක රෝගයක් ව පවතියි. මේ රෝගය නිසා වසරකට ලෝකයට අහිමි වන මිනිස් ජීවිත ගනන ලක්ෂ හතරකට ආසන්නයි. මෙම මරණ වලින් බොහොමයක් කුඩා දරුවන් වීම මෙම රෝගයේ භයානක කම තවත් වැඩි කිරීමට හේතු වනවා. මේ නිසාම ලොව පුරා පර්යේෂණායතන මැලේරියාවට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම පිළිබඳව සිය අවධානය යොමු කරමින් ඒ ඔස්සේ සිය පර්යේෂණ මෙහෙයවනු ලැබුවා. ඒ අනුව මේතාක් බිහිවූ මැලේරියා ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින් මේ තාක් සාර්ථකම එන්නත පෙන්වා තිබුනේද 50% කට ආසන්න ක්‍රියාකාරීත්වයක් පමණි. නමුත් පසුගියදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවූ පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවූ නව මැලේරියා එන්නතක් මූලික පර්යේෂණ වලදී 77% ක සාර්ථකත්වයක් පෙන්වූ බව එම සරසවිය නිවේදනය කර සිටියා.

රතු රුධිර සෛලයකට සම්බන්ධිත මැලේරියා පරපෝෂිතයෙක් ( ඡායාරූපය – විකිපීඩියා)

මැලේරියා රෝගය ඉතා සුලභ රාජ්‍යයක් වන බටහිර අප්‍රිකානු බර්කිනා ෆසෝ රාජ්‍යයේ ලමුන් 450 දෙනෙකු යොදාගෙන සිදුකරන ලද සායනික පරීක්ෂාවකදී මෙම ප්‍රථිඵල ළඟාකරගැනීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් අනුමාන කරන්නේ තවත් වසර දෙකක් ඇතුලත මෙම වැක්සීනය සාමාන්‍ය භාවිතය සඳහා යෙදාගත හැකිවනු ඇති බවයි.

මෙම සායනික පරීක්ෂාවේදී වයස මාස 5ත් 17 ත් අතර වයසැති ළමුන් 450 දෙනෙක් කණ්ඩායම් තුනකට බෙදා එක් කණ්ඩායමකට මැලේරියා වැක්සීනය අඩු මාත්‍රාවකුත්, තවත් කණ්ඩායමකට මලේරියා වැක්සීනයේ වැඩි මාත්‍රාවකුත් ලබාදී ඇති අතර, පාලක පරීක්ෂණය ලෙස භාවිතා කල තුන්වන කණ්ඩායමට ලබාදී තිබුනේ ජලභීතිකා එන්නතක්. මෙම පරීක්ෂණයේ ප්‍රථිඵල වලට අනුව වැක්සීනයේ වැඩි මාත්‍රාවක් ලබා දුන් කණ්ඩායම 77% ක සාර්ථකත්වයක් පෙන්වද්දී අඩු මාත්‍රාවක් ලබා දුන් කණ්ඩායම 71% ක සාර්ථකත්වයක් පෙන්වා දී තිබුණා. මීට අමතරව මෙම වැක්සීනය නිසා දරුවන් තුල අතුරු ආබාධ කිසිවක් වාර්ථා නොවූ බවද පර්යේෂණ කණ්ඩායම පවසනවා.

මෙම වැක්සීනය නිපදවූ පර්යේෂණ කණ්ඩායම ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් 19 වැක්සීනය නිපදවූ පර්යේෂණ කණ්ඩායම වන අතර ඒ අනුව මෙම නව වැක්සීන කොවිඩ් රෝගය පාලනය සඳහා සිදුකරන ලද පර්යේෂන වල අතුරු ඵලයක් ලෙසත් හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරියක් වන කාමිනී මෙන්ඩිස් මහත්මියද මැලේරියා රෝගයට එරෙහි පර්යේෂණවල නියැළුන අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් පර්යේශිකාවක් වන අතර ඇය ප්‍රමුඛ කරගත් පර්යේශකයින් සහ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ දැඩි කැපවීම මත ශ්‍රී ලංකාව මේ වන විට මැලේරියා රෝගය තුරන් කර රටක් ලෙස පිළි ගැනෙන අතර, ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවද අප්‍රිකානු රටවල තව දුරටත් මැලේරියා රෝගය ඉතා දැඩි සෞඛ්‍ය තර්ජනයක් ලෙස වාර්ශික මරණ ගනනාවකට හේතු වන රෝගයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.