ඈත අහසේ සිට අපි බලන්න ආ අමුත්තා, නියෝවයිස් වල්ගාතරුව පියවි ඇසින් බලන්නේ කොහොමද?

අපේ රාත්‍රී අහසේ සිදුවන චමත්කාරජනක සංසිද්ධි අතරේ පියවි ඇසින් දක්න්න පුළුවන් වල්ගා තරුවක් කියන්නේ ඉතාම දුර්ලභ සංසිද්ධීයක්. සාමාන්‍යයෙන් වසරකට වල්ගාතරු රැසක් සූර්යයා අසලින් ගමන් කරත් ඒවායින් පියවි ඇසට පෙනෙන මටිටමට පැමිණනේනේ ඉතා අතලොස්සක් පමණයි.

ඉතින් පසුගිය මාසය පුරාවටම රාත්‍රී අහසට ඇළුම් කරන්නන්ගේ අවධානය යොමුවෙලා තිබුනේ මේ වගේ ඉතාම කලාතුරකින් අපිට දකින්න හම්බවෙන වල්ගා තරුවක් දිහාවටයි. වර්ශ 2010 දී ඇමරිකාවේ නාසා ආයකනය විසින් අභ්‍යාවකාශ ගත කරනු ලැබූ Neowise නම් වූ අභ්‍යවකාශ යානය මගින් ගනු ලැබූ ඡායාරූප විශ්ලේෂණය කල එම ව්‍යාපෘතියට අදාල පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම වල්ගාතරුව හඳුනා ගනු ලැබුවේ 2020 මාර්තු මස 31 වන දායි. අනතුරුව අප්‍රේල් පළමුවනදා මෙය C/2020 F3 NEOWISE ලෙස විද්‍යාත්මක නාමකරණයට අනුව නම් කරනු ලබනවා. සොයා ගන්නා විටත් සූර්යයාගේ අසලටම පැමිණ තිබූ මෙම වල්ගා තරුව 2020 ජූලි 3 වනදා සූර්යයාගේ අසලින්ම ගමන් කරනු ලැබූවා. ඉන් පසුව මේ වනවිට මෙම වල්ගා තරුව සූර්යයාගේ සිට ඈතට ගමන් කරමින් ඈත අභ්‍යවකාශය කරා ගමන් කරමින් සිටිනවා. මේ ගමනේදී ජූලි 22/23 දින වලදී මෙය පෘථිවියට වඩාත් ආසන්නව ගමන් කරනු ඇති.

පසුගිය සතියක පමණ කාලයක් පුරාවට මෙම වල්ගා තරුව උතුරු අර්ධගෝලයේ පිහිටි රටවලට ඉතා හොඳින් දැකගත හැකිවුනේ හිරු උදාවට පැයක පමණ කාලයක සිට ඊසාන දිග අහසේ ක්ෂිතිජයට ආසන්නවයි. නමුත් අද දිනයෙන් පසුව මෙම වල්ගා තරුව දැකගත හැකිවන්නේ බටහිර අහසේ වයඹ දිග ප්‍රදේශයේ ක්ෂිතිජයට ආසන්නවයි. ඒ හිරු බැසයාමත් සමඟ ඉතා සුළු කාලයක් සඳහා පමණයි. නමුත් මෙම වල්ගා තරුව අපිට නිරීක්ෂණය කිරීමට පහසු මට්ටමකට පැමිනෙන්නේ මේ මස 19/ 20 දිනවලින් පසුවයි. පහත රාත්‍රී අහසේ සිතියම් දෙක අනුව මෙම වල්ගා තරුවේ පිහිටීම ඉතා හොඳින් ඔබට හඳුනාගත හැකි වනු ඇති. ඒ එක්කම මෙම වල්ගා තරුව නිරීක්ෂණයේදී ආලෝක දූශණය ඉතා අඩු ප්‍රදේශයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්. ඊට හේතුව මෙය දීප්තියෙන් ඉතා අඩු ආකාශ වස්තුවක් වීමයි.

ජූලි 19 වන දා නියෝවයිස් වල්ගා තරුව වයඹ දිග අහසේ දිස්වන ස්ථානය. (ආකාශ සිතියම STELLARIUM මෘදුකාංගයෙනි.)
21 වන දා රාත්‍රී 7 ට වයඹ දිග අහසේ මදක් ඉහලින් මෙම වල්ගා තරුව නිරීක්ෂනය කරන්න පුළුවන්(ආකාශ සිතියම STELLARIUM මෘදුකාංගයෙනි.)

දිනෙන් දින මෙම වල්ගා තරුව සූර්යයාගෙන් ඈතට ගමන් කරන නිසා ඉදිරි දින කිහිපයේදී ඉර බැසයාමත් සමඟම වයඹ දිග අහසේ මදක් ඉහලට වන්නට මෙය නිරීක්ෂණය කල හැකි වුවත්, වල්ගා තරුවේ දීප්තියත් දිනෙන් දින අඩුවන නිසා මෙය නිරීක්ෂණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති. නමුත් දෙනෙතියක් හෝ කුඩා ප්‍රමාණයේ දුරේක්ෂ මගින් මෙය ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේ පහසුව ඉදිරි මාසයක පමණ කාලය පුරාවට අපට හිමි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.