ගෝලීය වසංගතයක් විය හැකි තවත් වෛරසයක් චීනයෙන් සොයාගැනේ

දැනට ලොව පුරා මහත් ව්‍යවසනයක් බවට පත්ව ඇති කොව්ඩ් 19 ගෝලීය වසංගතය හා සමානව ගෝලීය මට්ටමේ වසංගතයක් බවට පත්විය හැකි වෛරසයක් චීන පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබෙනවා. චීනයේ ගොවිපල ආශ්‍රිතව වැඩෙන ඌරන් ආශ්‍රිතව සොයාගෙන ඇති මෙම වෛරසය තවමත් ඌරන්ගෙන් මිනිසුන්ට බෝවන ප්‍රවණතාවක් සොයාගෙන නැතත් මේ වෛරසය යම් හෙයකින් මිනිසුන් හට වැළඳීමේ සම්භාවිතාව පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි පර්යේෂකයින් පවසන්නේ.

වසර 7 ක් පුරා එක් රැස් කරන ලද දත්ත ඇසුරින් සිදුකරන ලද මෙම පර්යේෂණයේ පර්යේෂණ පත්‍රිකාව පසුගිය දා PNAS පර්යේෂණ ජර්නලයේ පල කොට තිබුනා. මෙම පර්යේෂණයට අනුව මෙම වෛරසය නම් කොට ඇත්තේ G4 EA H1N1 ලෙසයි. ඒ අනුව මෙය මීට පෙර ලොව පුරා කතාබහට ලක්වූ සූකර උණ ඇතිකිරීමට හේතුවන H1N1 වෛරස කාණ්ඩයේම වෛරසයක් වනවා. මෙම පර්යේෂණයේදී මෙම වෛරසය මිනිස් සෛල හා ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කොට ඇති අතර එහිදී මෙම වෛරසය ඉතා හොඳින් මිනිස් සෛල හා සම්බන්ධවී ආසාදනය කල හැකි මට්ටමක පවතින බව සොයාගෙන තිබෙනවා.

ඌරා – වෛරස නිපදවන මැෂිමක්ද?

ස්වභාවිකව ඌරන් හට විවිධ ඉන්ෆ්ලුවෙන්සා වෛරස වර්ග ඉතා පහසුවෙන් ශරීරගතවන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව උරන්ගේ ශරීර තුල වර්ග කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා වෛරස එක්වර ආසාදනය වී තිබුන හොත් එම සත්ත්වයාගේ සෛල තුලදී මෙම විවිධ වෛරස වල ජාන එකිනෙක මිශ්‍ර වී අළුත්ම වර්ග වල වෛරස සෑදිය හැකි බව මෙලින්ඩා රොස්ටල් නම් පශු වසංගත විද්‍යාඥවරිය inverse.com නම් වෙබ් අඩවියට පවසා තිබෙනවා. 2009 දී ලොව පුරා පැතිරුන සූකර උණ වසංගතය එවැන්නක් බවත් එම වෛරසය සෑදී තිබුනේ මානව, සූකර සහ පක්ෂී ඉන්ෆ්ලුවෙන්සා වෛරස ත්‍රිත්වයෙහිම ජාන එකතු වීමෙන් බව ඇය පවසනවා.

වර්ෂ 2011 සිට 2018 දක්වා චීනයේදී සිදුකරන ලද මෙම පර්යේෂණයේදී ගොවිපල ආශ්‍රිත ඌරන් 29918 ක ගේ නාසා තරලයන් ලබාගෙන වෛරස හඳුනාගැනීමේ පරීක්ෂාවන් සිදු කර ඇත. මෙම පරීක්ෂාවන් හීදී වෛරස 179 ක් හඳුනාගැනීමට පර්යේශකයන් සමත්ව ඇති අතර ඉන් බහුතරයක් එනම් 165 ක් යුරෝ ආසියානු කුරුළු උණ හෙවත් Eurasian Avian-like influenza A රෝගය ඇති කරන EA H1N1 වෛරසය ලෙස හඳුනාගෙන තිබේ. මෙම වෛරසවල ජාන සංයුතිය තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී විශේෂිත ජානදර්ශයක් වන G4 ජානදර්ශය මෙම වෛරස අතර බහුල බව සොයා ගන්නා ලදී. පර්යේෂණ වලට අනුව මෙම G4 ජානදර්ශය ඌරන් අතර පැතිර ගොස් ඇතිතේ වර්ශ 2016 සිටය. ඒ අනුව පර්යේෂකයින් විසින් මෙම නව ජාන දර්ශය රැගත් වෛරස නව වෛරස වර්ගයක් ලෙස G4 EA H1N1 යන නමින් නම් කොට තිබේ.

මෙම වෛරසය මානව දේහ සෛල තුලට පහසුවෙන් ඇතුළු වීමේ හැකියාව සහිත බවද විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. මේ හේතුවෙන් මෙම වෛරසයද දැනට වසංගත තත්ත්වයට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය මෙන්ම වසංගත තත්වයට පත්ව්ය හැකි බව පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.