සහසක් නිමැවුම් 2020, දේශීය අංශය සඳහා අයදුම්පත් දැන් කැඳවේ

sn2020

රටක් ලෙස ශ්‍රී ලංකාව මේ තාක් මුහුණ දුන් සෑම ව්‍යවසනයකදීම ඒවාට නොසැලී මුහුණ දීමට අප සමත්ව තිබේ. අප දැන් මුහුණ දෙමින් සිටින කොවිඩ් 19 වසංගතයද එවන් එක් ව්‍යවසනයකි. නමුත් මේ අවස්ථාවේදීද අප ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව නොරහසකි. මෙම ව්‍යවසන තත්ත්වය හමුවේ එය ආශීර්වාදයක් කොට ගෙන ඉදිරියට ආ ක්ශේත්‍රයක් ලෙස දේශීය නව නිපැයුම් හා නවෝත්පාදන අංශය හැඳින්විය හැකියි. පාසැල් සිසුවාගේ සිට විශ්ව විද්‍යාල ආචාර්ය වරයා දක්වාත්, ජල නල කාරමිකයාගේ සිට වෛද්‍යවරයා දක්වාත් ආදී සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍රයන් නොයෙකුත් සමාජයීය ස්ථරයන් නියෝජනය කරමින් එළි දැක්වුනු නව නිර්මාණ බොහොමයක් මේ දිනවල මුලු රටේම අවධානයට පාත්‍ර වූ අවස්ථා බහුලව දැකිය හැකි විය.

ශ්‍රී ලංකාව තුල නව නිපැයුම් සංස්කෘතිය ඔප් නැංවීම සඳහාත් ඒවාට ආධාර අනුබල දීම සඳහාත් ක්‍රියාත්මක වන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. වර්ශ 1979, අංක 53 දරණ විශේෂ පනතක් මගින් ස්ථාපනය කෙරුනු මෙම කොමිසමෙහි වත්මන් කොමසාරිස්වරයා ලෙස ක්‍රියා කරන්නේ මහාචාර්ය රංගික හල්වතුර මහතායි. ශ්‍රි ලංකාව තුලත් අන්තර්ජාතිකවත් නිපදවෙන නව නිර්මාණ ලෝකයට හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් වාර්ශිකව සංවිධානය කෙරෙන ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස “සහසක් නිමැවුම්” නව නිශ්පාදන ප්‍රදර්ශණය හැඳින්විය හැකියි.

2020 නව අභියෝගයන් සමඟින් සහසක් නිමැවුම් නව මුහුණුවරකින්

ශ්‍රී ලංකාවේත් මුළු ලෝකය පුරාත් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 සහසක් නිමැවුම් ප්‍රදර්ශණය සාම්ප්‍රදායික උත්සවාකාර මට්ටමෙන් පැවැත්වීම අභියෝගාත්මක වූ බැවින් ඊට වෙනස්ම ආකාරයකට මුහුණ දෙමින් මෙවර සහසක් නිමැවුම් ප්‍රදර්ශණය පැවැත්වීමට ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදර්ශණය මෙවර අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මාර්ගගත (Online) තරඟාවලියක් ලෙස පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

ඒ අනුව මෙම තරඟාවලිය දේහීය සහ අන්තර්ජාතික යන අංශ දෙකක් ඔස්සේ මෙවරත් පැවැත්වෙනු ඇති. මේ සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන නව නිපැයුම්කරුවන්ට මෙම තරඟාවලිය සඳහා සම්බන්ධ වීමට සිය නව නිපැයුමෙහි සංකල්පය සහ ක්‍රියාකාරීත්වය හඳුන්වාදෙන කෙටි වීඩියෝ පටයක් සමඟ අන්තර්ජාලය හරහාම අයදුම් කල හැකියි.

දේශීය සහ අන්තර්ජාතික තරඟාවලීන් සඳහා අයදුම් කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ දැන් අයදුම්පත් බාර ගන්නා අතර ජූනි 31 දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරනු ලබනවා.

දේශීය නව නිපැයුම් අංශය

අන්තර්ජාතික නව නිපැයුම් අංශය

පහත දැක්වෙන එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් 14 ක් ඔස්සේ ඉහත අංශ දෙක සඳහා ඔබට අයදුම්පත් ඉදිරිපත් කල හැකියි.

  1. මහජන ආරක්ෂාව, සුභසාදනය හා ජාතික ආරක්ෂාව
  2. භෞතික විද්‍යාව
  3. වෛද්‍ය විද්‍යාව සහ ඖෂධවේදය
  4. දේශීය වෛද්‍ය ක්‍රම
  5. කෘෂිකර්මය
  6. ආහාර තාක්ෂණය
  7. රසායන විද්‍යාව
  8. ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය
  9. බලශක්ති
  10. පරිසර සංරක්ෂණය
  11. ඉංජිනේරු තාක්ෂණය
  12. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
  13. ප්‍රවාහණය
  14. එදිනෙදා කාර්යයන් සහ යටිතල පහසුකම් පිළිබඳ ඉංජිනේරුවේදය.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් නව නිපැයුම් සඳහා පිරිනැමෙන ‘දසිස්’ සම්මානය

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා අන්තර්ජාලයෙන් ඔබ ඉදිරිපත් කරන අයදුම්පත් විශේෂඥ මඩුල්ලක් මඟින් ඇගයීමට ලක්කොට එක් එක් අංශය සඳහා ජයග්‍රාහිකයන් තෝරා ගනු ලැබෙන අතර මෙම ජයග්‍රාහකයින් සඳහා නව නිපැයුම් සඳහා වන ‘දසිස්’ සම්මානය හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.