කොරෝනා වසංගතයට එරෙහි එන්නතක් තවමත් ප්‍රමාද ඇයි?

අප හට වැළඳෙන රෝගාබාධ අතුරින් බොහොමයක් බෝ වන රෝගයන්ය. එනම් මෙම රෝග කිසියම් රෝග කාරකයෙක් නිසා හටගන්නා ඒවා වේ. මෙම රෝග කාරකයන් වෛරස, බැක්ටීරියා, දිලීර හෝ ඒකසෛලික කාදී නොයෙකුත් ජීවී ඛාණ්ඩයන්ට අයත් විය හැක. වර්ථමානයේ මුළු ලොවම මුහුණ දී ඇති කොවිඩ් 19 වසංගතයද කොරෝනා වෛරස ඛාණ්ඩයට අයත් රෝග කාරක වෛරසයක් නිසා හට ගන්නා රෝග තත්ත්වයකි. බැක්ටීරියා, දිලීර වැනි සෛලීය සැකැස්මක් ඇති රෝග කාරකයන් ගෙන් හටගන්නා රෝග සඳහා සෘජු ප්‍රතිකාරකයන් තිබුනද වෛරස නිසා හටගන්නා රෝග සඳහා එවන් ප්‍රතිකාර භාවිතයේ නොමැත්තේ වෛරස වල සෛලීය ක්‍රියාකාරීත්වයක් නොමැති නිසා සෘජු රසායනික ප්‍රතිකාර මගින් ඒවා මර්ධනය කල නොහැකි නිසාය. බොහොමයක් වෛරස නිසා හට ගන්නා රෝගාබාධ සිරුරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් මැඩ පවත්වනු ලබයි. මේ නිසා වෛරස රෝගාබාධ රැසක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව ඉබේම සුව වන අතර, විවිධ වෛරස වල ප්‍රබලත්වය මත ඒ ඒ වෛරසය මඟින් ඇතිකරන බලපෑම වෙනස් විය හැක.

ප්‍රතිශක්තිකරණ එන්නත්

වර්ශ 1796 දී එඩ්වඩ් ජෙනර් නම් විද්‍යාඥයා විසින් 13 හැවිරිදි ළමයෙකුට ගව වසූරිය වෛරසය එන්නත් කිරීමෙන් පසු එම ළමයා වසූරිය රෝගයට ප්‍රතිරෝධී වන බව පෙන්වා දෙන ලදී. ඒ අනුව එහිදී රෝග කාරකයක් සඳහා සිරුරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතිය කල් තියා සූදානම් කිරීම මඟින් එම රෝග කාරකයා සිරුරට ඇතුලු වූ වහා එය මර්ධනය කිරීමේ හැකියාව සිරුරට ලැබෙන බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. මෙසේ රෝගකාරකයන් සඳහා සිරුර පෙර සූදානම් කරන එන්නත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස හඳුන්වන ලද අතර, පසුව මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතා කිරීම මගින් වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට වර්ශ 1979 හැකියාව ලැබිණ. 20 වන ශතවර්ශය මුලභාගයේදී ලුවී පාස්චර් නම් විද්‍යාඥයා විසින් ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ තවදුරටත් සාර්ථක සොයාගැනීම් රැසක් සිදු කල අතර ඔහු විසින් මෙම එන්නත් සඳහා එඩ්වඩ් ජෙනර් හට ගෞරවයක් ලෙස VACCINE යන යෙදුම භාවිතා කිරීම ආරම්භ කරන ලද අතර ඒ එඩ්වඩ් ජෙනර් විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස භාවිතා කරන ලද වෛරසය Vaccinia වෛරසය වූ නිසාය.

ප්‍රතිශක්තිකරණ එන්නතක ක්‍රියාකාරීත්වය

ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග

සාම්ප්‍රදායිකව එන්නත් වර්ග 4 ක් නිපදවා ඇති අතර පසුකාලීනව මෙම ක්‍රම 4ට අමතරව නූතන තාක්ෂණය ඔස්සේ නව ප්‍රතිශක්තී කරණ එන්නත් වර්ගද නිපදවීමට විද්‍යාඥයින් සමත්ව ඇත. සාම්ප්‍රදායික ක්‍රමයන් ඔස්සේ නිපදවන එන්නත් වර්ග 4 පහත පරිදි වේ.

  • මරණයට පත් කරන ලද ක්ෂුද්‍ර ජීවි සහිත එන්නත් වර්ග – මේවා යනු රසායනික ද්‍රව්‍ය හෝ තාපය භාවිතා කරමින් මරණයට පත් කරන ලද හානිදායක ක්ෂුද්‍ර ජීවින්ය. උදා-සෙම්ප්‍රතිෂ්‍යා උණ, මහාමාරිය සහ හෙපටයිටිස් ඒ රෝග සදහා ඇති එන්නත් වර්ග.
  • ජීවී නමුත් සැරබාල කරන ලද ක්ෂුද්‍ර ජීවින්ගෙන් නිර්මාණය කරන ලද එන්නත් වර්ග – මේවා යනු ජීවි ක්ෂුද්‍ර ජීවින්වන අතර ඒවායෙහි හානිකර ගුණාංගයන් මර්ධනයවන පරිදි වර්ධනය කිරීම මගින් හෝ පුළුල් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සදහා සමීපව හානිදායි නොවන ජීවි විශේෂයන් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇත. මේවා නිරෝගී වැඩිහිටියන් සදහා වඩාත් හිතකර එන්නත් වර්ග වන අතර එමගින් වඩාත් කල්පවත්නා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ලබාදෙයි. උදාහරණ නම් කහඋණ, සරම්ප, රුබෙල්ලා සහ කම්මුල්ගාය යන රෝග සදහා ලබාදෙන එන්නත් වර්ගයි. ජීවී ක්ෂය රෝග එන්නත බෝවන සුළු වර්ගවලින් නිෂ්පාදනය වූවක් නොවන අතර බී.සී.ජී. නම් ඒ හා සමාන වර්ගයක් මගින් නිෂ්පාදිත එන්නතක් ඇමරිකා එක්සත් ජනපදයේ බහුලවම ලබාදෙන්නක් නොවේ.
  • ටොක්සොයිඩ – මේවා රෝග ඇති කළ නොහැකි අක්‍රීය කරන ලද ධූලක ද්‍රව්‍යයන් වේ. මෙහිදී අදාල ක්ෂුද්‍ර ජිවියා එන්නතට අන්තර්ගත නොවේ. මෙම ධූලක මගින් නිෂ්පාදිත එන්නතක් වනුයේ පිටගැස්ම සහ ගලපටලය එන්නතයි.
  • උප ඒකක – අක්‍රීය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හදුන්වාදීම වෙනුවට අදාල ක්ෂුද්‍ර ජිවීයාගේ කොටසක් මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කළ හැකිය. මේ සදහා කදිම නිදසුනක් වනුයේ හෙපටයිටිස් බී එන්නතයි. මෙහිදී අදාල වෛරසයෙහි පෘෂ්ඨයෙහි ඇති ප්‍රෝටීන ද්‍රව්‍ය මගින් එන්නත නිෂ්පාදනය කර ඇත. Human Papillomavirus නම් වෛරස් එන්නත නිෂ්පාදනය කර ඇත්තේ වෛරසයෙහි පිටත ආවරණයෙහි ප්‍රෝටීන මගිනි.

නව්‍යකරණය වූ එන්නත් වර්ග

  • සංයුග්මක එන්නත් – ඇතැම් බැක්ටීරියාවන් සදහා ඉතා දුර්වල වශයෙන් ප්‍රතිශක්තීකරණය ඇති කළ හැකි පොලිසැකරයිඩ බාහිර අවරණයන් ඇත. නමුත් මෙම භාහිර ආවරණයන් ප්‍රෝටීන සමග (උදා – ධූලක) සම්බන්ධ කිරීම මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට මෙම පොලිසැකරයිඩ වර්ග ප්‍රෝටීන ප්‍රතිදේහ ජනකයක් ලෙසට හදුනාගත හැකිය. මෙම ක්‍රියාවලිය හිමෝපිලස් ඉන්ෆ්ලූවෙන්සා බී එන්නත සදහා භාවිතා කර ඇත.
  • ප්‍රතිසංයෝජන එන්නත් – එක් ක්ෂුද්‍ර ජිවියෙකු‍ෙග් භෞතික ගුණාංග සහ අනෙක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ ඩී.එන්.ඒ ද්‍රව්‍ය සංයෝජනය කිරීම මගින් අති සංකිර්ණ ආසාදන ක්‍රියාවලියක් ඇති රෝග සදහා ප්‍රතිශක්තිකරණය ලබාදිය හැකිය.
  • ඩී.එන්.ඒ එන්නත්කරණය – පසුගිය වසර කිහිපයක් තුළ ආසාදිත රෝග කාරකයෙහි ඩී.එන්.ඒ මගින් නිෂ්පාදනය කරන ලද ඩී.එන්.ඒ. එන්නත් බිහිවී ඇත. මෙය ක්‍රියාකාරී වනුයේ වෛරස හෝ බැක්ටිරීයා ඩී.එන්.ඒ මිනිස් හෝ සත්ව සෛලවලට ඇතුළු කිරීමෙනි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ඇතැම් සෛල මෙම ඩී.එන්.ඒ මගින් ඇති කරන ප්‍රෝටීනවලට සහ ඒවා අන්තර්ගත සෛලවලට එරෙහිව පහර දෙති. මෙම සෛල දිගුකාලයක් ජීවත්වන බැවින් මෙම ප්‍රෝටීන ස්වාභාවිකවම නිෂ්පාදනය කරන ව්‍යාධි ජනකයා පසුකාලීනව සිරුර තුළට ඇතුළුවුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එයට එරෙහිව ක්ෂණිකව ප්‍රහාර එල්ල කරයි. මෙම ඩී.එන්.ඒ එන්නත්වල එක් වාසියක් වනුයේ ඒවා නිෂ්පාදනය කිරීම සහ ගබඩාකර තබාගැනීම ඉතා පහසුවීමයි. මෙම එන්නත් තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතී.

ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම

ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම කිසියම් නිශ්චිත ක්‍රියාදාමයන් කිහිපයක් ඔස්සේ යමින් ඉතා ප්‍රවේශමෙන් සිදුකල යුත්තකි. එහිදී නිශ්පාදකයින් විසින් අවධානය කල යුතු අංශ කිහිපයක් ගැන අවධානය යොමු කල යුතුය. ඒවා නම්-

  • ප්‍රතිශක්තිකරණ එන්නතෙහි අවශ්‍යතාව
  • ආසාදනයෙහි ස්වභාවය සහ ස්වභාවික ඉතිහාසය
  • තෝරා ගන්නා ලද ප්‍රතිදේහ ජනකය රෝගයට එරෙහි ප්‍රතිරෝධයක් සිරුර තුල ඇති කිරීමට සමත්වන්නේද යන බව
  • එක් වරක් අදාල රෝගය ආසාදනය වූවායින් පසුව සිරුර තුල ස්වභාවික ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන්නේද යන්න
  • රෝග කාරකයා විද්‍යාගාරයක් තුල කෘතීම වගා මාධ්‍යයක වගා කල හැකිද යන්න
  • තොරා ගත් ප්‍රතිදේහ ජනකය සිරුර තුල ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය සක්‍රිය කිරීමට සමත් වේද යන්න,
  • ප්‍රතිදේහජනකය විශාල ප්‍රමාණ වලින් නිපදවීමේ ක්‍රමවේදය
  • නිපදවන නව ප්‍රතිදේහජනකය සිරුරට ඇතුල් කරන ක්‍රමවේදය
  • ප්‍රතිශක්තිකරණ එන්නතෙහි කාර්යක්ෂමතාව සහ එහි ක්‍රියාකාරීත්වය රඳාපවතින කාලය
  • අතුරු ආබාධ ඇතිවිය හැකිද යන්න

ඉහත කරුණු සියල්ල නිසාවෙන්ම ප්‍රතිශක්තිනරණ එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය තරමක් කල් ගතවන ක්‍රියාවලියක් වන අතර ඉතාම ප්‍රවේශම්සහගතව සිදුකලයුතු ක්‍රියාවලියකි. ඒ අනුව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා එළිදැක්වීමේ ක්‍රියාවලිය පහත පරිදි සරලව දැක්විය හැක.

රෝගය හඳුනාගැනීම

රෝග කාරකයා හඳුනා ගැනීම

දේහය තුල ප්‍රතිශක්තීකරණය සක්‍රිය කල හැකි, රෝග කාරකයා ආශ්‍රිත ප්‍රතිදේහජනකය තෝරා ගැනීම

ප්‍රතිදේහ ජනකය නිශ්පාදනය කිරීම

සතුන් යොදා ගනිමින් එන්නතෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම

සායනික පරීක්ෂාව – පළමු අදියර

මෙහිදී ස්වේච්චාවෙන් ඉදිරිපත් වන්නන් 100 කට අඩු සංඛ්‍යාවක් හට අදාළ එන්නත ලබා දී පරීක්ෂා කරනු ලැබේ. මෙහිදී අදාල පිරිස අසමාන සහ අහඹු ලෙස කොටස් දෙකකට බෙදා ඉන් එක කොටසකට නව එන්නතත්, අනෙක් කොටසට වෙනත් එන්නතක් පාලක පරීක්ෂණයක් ලෙසත් එන්නත් කරනු ලැබේ. එන්නත නිසා හටගත හැකි විවිධ සංකූලතා, ආසාත්මිකතා, සහ වෙනත් අතුරු ආබාධ පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලබන අතරම භාවිතා කරන මාත්‍රාව පිළිබඳවද අදහසක් ලබා ගැනීම මෙම පියවරෙහිදී සිදු කරනු ලබයි.

සායනික පරීක්ෂාව – දෙවන අදියර

මෙහිදී මෙම එන්නත ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වන දහසකට ආසන්න පිරිසක් ආශ්‍රයෙන් පරීක්ෂාවට ලක් කරයි. මෙහිදී විශේෂයෙන්ම අදාළ එන්නත සිරුර තුල ඇතිකරන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. එමෙන්ම විශාල පිරිසකට එන්නත් කිරීමේදී අදාල පුද්ගලයින්ගේ සිරුරු තුල අහිතකර බලපෑමක් ඇතිවේද යන්නත් මෙම පියවරෙහිදී සලකා බලනු ලබයි.

සායනික පරීක්ෂාව – තෙවන අදියර

පළමු හා දෙවන සායනික පරීක්ෂාවන්ගෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වන ප්‍රතිශක්තිකරණ එන්නත් තෙවන අදියර සඳහා යොමු කෙරෙන අතර මෙහිදී අදාළ ඖෂධ පාලක ආයතනවල දැඩි නිරීක්ෂණය යටතේ ආසන්න වශයෙන් 10000 කට ආසන්න පිරිසක් විශයෙහි මෙම එන්නත පරීක්ෂා කරන අතර එහිදී අදාල පිරිසෙන් අඩකට පාලක පරීක්ෂාවක් ලෙස ව්‍යාජ එන්නතක් ලබා දීම සිදු කරන අතර, පරීක්ෂාවට සහභාගී වන්නන් තමන්ට ලබා දුන් එන්නත පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොකරයි.

ලියාපදිංචිය හා පුළුල් භාවිතය සඳහා නිර්දේශ කිරීම

රාජ්‍ය මට්ටමෙන් හෝ අන්තර්ජාතික මට්ටමින් මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතය සඳහා නිර්දේශ කරනු ලබයි.

ඉහත දීර්ඝ ක්‍රමවේදය ලෙස බැලීමේදී කිසියම් රෝග කාරකයකට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිර්මාණය කිරීම යනු දිගු කාලයක් ගතවන ක්‍රියාවලියකි. දැනට ලොව වටා පැතිරෙන කොවිඩ් 19 ගෝලීය වසංගතය සඳහා තවමත් ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයාගෙන නොමැත්තේ මේ හේතුව නිසාවෙනි. මෙම ක්‍රමවේදය ඔස්සේ කිසියම් එන්නතක් නිෂ්පාදනය කිරීමට ආසන්න වශයෙන් වසර දෙකක කාලයක් වත් ගතවේ.

කොව්ඩ් 19 ට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම මත දැනට ලොව පුරා සරසවි සහ පුදගලික හා රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට අත ගසා ඇත. මේ බොහොමයක් උත්සාහයන් තවම ඇත්තේ සායනික පරීක්ෂාවේ පළමු හෝ දෙවන අදියර වලයි. පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ පර්යේෂණයන්ය.

කොවිඩ් 19 ට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා ගැනීම සඳහා වන පර්යේෂණ කිහිපයක් ( ඹූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය)

ඉහත දත්ත දෙස බැලීමේදී මෙම පර්යේෂණයන් තවමත් සායනික පරීක්ෂාවේ පළමු හා දෙවන අදියර වල ඇති බව පෙනේ. ඒ අනුව කොවිඩ් 19 ට එරෙහි සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කරගැනීමට තවත් මාස දහයක පමණ අවම වශයෙන් ගතවනු ඇති.

ශ්‍රී ලංකාව තුලත් ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවලා

ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ආගන්තුක අංශයක් ලෙස බොහෝ දෙනෙකුට හැඟුනත් ශ්‍රී ලංකාවේද ප්‍රතිශක්තිකරණ එන්නත් මහාපරිමාණයෙන් නිපදවන බව ඇසුවහොත් ඔබ පුදුම වෙන් ඇති. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවෙන්නේ 1934 දී. ඒ කුරුළු වසූරිය නමින් හැඳින්වෙන පක්ෂීන් හට වැළදෙන වෛරස් රෝගයකට එරෙහිවයි. මේ කාලය තුල ශ්‍රී ලංකාව තුල පශු පර්යේෂණ සඳහා වෙනම ආයතනයක් නොතිබුනු අතර, පශ්‍ර වෙද්‍ය විද්‍යාගාරයක් පමණක් ස්ථාපිතව තිබුනා. අනතුරුව මෙම විද්‍යාගාරය යටතේ කිණිතුලු උණ, ඇන්ත්‍රැක්ස්, මුඛ හා කුර රෝගය, රැනිකට් වැනි සත්ත්ව පාලනය හා සම්බන්ධ රෝගාබාධ රැසකට අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් ගනනාවක් නිෂ්පාදනය ආරම්භ කෙරින. අදටත් මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින් සමහරක් ශ්‍රී ලංකා පශු පර්යේශණ ආයතනය සතු විශේෂිත නිෂ්පාදනාගාර තුල නිෂ්පාදනය වනවා. මෙම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ සහ වෙනත් නවීනතම පහසුකම් ශ්‍රී ලංකා පශු පර්යේශණායතනය සතු වනවා.

නමුත් ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සතුව තිබූ මෙම සත්ත්ව ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කොට මානව ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නොහැකි වීම රටක් ලෙස අප ලද ඉතා දරුණු පරාජයක් බව පිළිගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.