එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් නිපදවන ලද කොවිඩ් 19 රෝග කාරක වෛරසයට එරෙහි ප්‍රත්ශක්තිකරණ එන්නතක් සායනික පරීක්ෂාව සඳහා යොමු කරන ලද බව එම සරසවියේ වෙබ් අඩවිය අද වාර්තා කරනු ලැබුවා. ඒ අනුව ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ 1100 ක පමණ පිරිසක් මෙම සායනික පරීක්ෂාව සඳහා සහභාගී වනු ඇති. මෙම කණ්ඩායමෙන් හරි අඩකට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙනු ලබන අතර අනෙක් පිරිසට මෙම නව එන්නත වෙනුවට පාලක පරීක්ෂණයක් ලෙස දැනට භාවිතයේ ඇති මොලේ උණ සඳහා වන එන්නතක් ලබා දෙනු ඇති.
ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ ඇඩිනොවෛරස කාණ්ඩයට අයත් වාහක වෛරසයක් සහ කොවිඩ් රෝග කාරක වෛරසය වන SARS-Cov-2 වෛරසයේ බාහිර නෙරුම් සෑදී ඇති ප්‍රෝටීනය භාවිතා කරමිනුයි. පර්යේෂණ කණ්ඩායම මෙම එන්නත හඳුන්වනු ලබන්නේ ChAdOx1 nCoV-19 ලෙසයි.
ඒ අනුව සිරුර තුලට ඇතුල් වන මෙම ප්‍රතිශක්තිකරණ එන්නත මඟින් අප රුධිරයේ කොවිඩ් රෝග කාරක වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවේ යැයි බලාපොරොත්තු වනවා. මෙම ප්‍රතිශක්තිකරණ එන්නත සහිත වූවන් සමාජගතවූ පසු කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වන ආකාරය නිරීක්ෂණය කිරීම මඟින් මෙම එන්නතේ සාර්ථකත්වය ගැන අදහසක් ලබා ගත හැකිවනු ඇති. නමුත් ඒ සඳහා සමාජයේ කොරෝනා වෛරසය පැතිරීම යම් ඉහල මට්ටමක තිබිය යුතුය. ඒ අනුව මෙම සායනික පරීක්ෂාවේ ප්‍රථිඵල සඳහා ඇතැම් විටෙක මාස 6 ක පමණ කාලයක් යනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම පවසනවා.