අප්‍රේල් අහස සරසන ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාව

lyrids

අතීතයේ මිනිසුන් අත්වින්දාක් මෙන්ම අදත් අපගේ රාත්‍රී අහස චමත්කාරජනක සංසිද්ධීන් වලින් ගහන ස්ථානයක්. මේ චමත්කාරජනක සංසිද්ධීන් අතර මුල් තැනක් උල්කාපාත වර්ශා වලට හිමිවෙනවා. වසර පුරාවට උල්කාපාත වර්ශා කිහිපයක් නිරීක්ෂණය කල හැකියි. මේවා අතරින් අප්‍රේල් මාසයේදී අපට නිරීක්ෂණය කල හැකි උල්කාපාත වර්ශාව හැඳින්වෙන්නේ ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාව ලෙසයි.

උල්කාපාත වර්ශාවක් කියන්නේ මොකක්ද?

අපගේ සූර්යයා ප්‍රධාන කොටගත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, චන්ද්‍රයින් සහ ග්‍රහක වලට අමතරව අඩංගු වන තවත් එක් සාමාජික කොටසක් ලෙස වල්ගාතරු හඳුන්වන්න පුළුවන්. මේවා අපගේ සූර්යයා වටා යම් කාල ප්‍රාන්තරයක් සහිතව ගමන් කරනවා. මෙසේ ගමන් කිරීමේදී මෙම වල්ගා තරුවේ අඩංගු වන විවිධ අංශූන් එම ගමන් මාර්ගය තුල ඉතිරි වනවා. ඒ අනුව වල්ගා තරුව ගමන් කල ගමන් මාර්ගය කුඩා වැලි කැට ප්‍රමාණයේ සිට තරමක් විශාල පාශාණ කැබලි දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් අංශූන් විසිරුන කලාපයක් ලෙස පවතිනවා. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමේදී වසරේ එක් එක් අවස්ථා වලදී මේ කලාපයන් හරහා ගමන් කරනවා. ඒ අවස්ථා වලදී මෙම කලාපයන් තුල විසිරුන විවිධ ප්‍රමාණයේ අංශූන් පෘථීවියේ වායුගෝලය හා ගැටී ගිිනිගෙන විනාශ වනවා. මෙසේ පෘථීවි වායුගේලය හා ගැටී විනාශ වෙන මෙම අංශූන් අපිට නිරීක්ෂණය කල හැකි වන්නේ රාත්‍රී අහස හරහා අධික වේගයෙන් ඇදී යන ආලෝක ධාරාවක් ලෙසයි. මේවා අප උල්කාපාත ලෙස හඳුන්වන අතර උල්කාපාත වර්ශාවකදී කෙටි කාලයක් තුල උල්කාපාත රාශියක් නිරීක්ෂණය කිරීමට අපට අවස්ථාව උදාවෙනවා.

ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාවේ විශේෂත්වය මොකක්ද?

අප්‍රේල් මාසයේ 15 වෙනිදා ඉඳන් 25 වෙනිදා දක්වා පමණ අපට නිරීක්ෂණය කරන්න පුළුවන් ලයිරිඩ් උල්කාපාත වර්ශාව ඇති වන්නේ 1861 දී සූර්යයා අසලින් ගමන් කල “තැචර්” (comet C/1861 G1 Thatcher ) වල්ගා තරුව ගමන් කල ගමන් මාර්ගය හරහා පෘථිවිය ගමන් කරන අවස්ථාවේදීයි. මෙම තැචර් වල්ගා තරුව සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට වසර 415 ක් ගත කරනවා. ඒ අනුව “තැචර්” නැවතත් සූර්යයා අසලට පැමිණෙන්නේ වර්ශ 2276 දී.

ඇයි මේකට “ලයිරිඩ්ස්” කියන නම වැටෙන්නෙ?

ඕනෑම උල්කාපාත වර්ශාවක් ඇතිවෙන අවස්ථාවේදී උල්කාපාත ආරම්භ වනවා සේ පෙනෙන්නේ අහසේ යම් නිශ්චිත ප්‍රදේශයක් ආශ්‍රිතවයි. මෙම ප්‍රදේශය උල්කාපාත වර්ශාවේ කේන්ද්‍රය විදිහටයි හඳුන්වන්නේ. ඉතින් සෑම උල්කාපාත වර්ශාවක්ම පාහේ නම් කරල තියෙන්නේ මෙන්න මේ කේන්ද්‍රයට ආසන්නයෙන්ම තියෙන තාරකා රටාවේ නමින්. අප්‍රේල් මාසේ අපි දකින මේ උල්කාපාත වර්ශාවේ කේන්ද්‍රය ආශ්‍රිතව ළඟින්ම තියෙන්නේ “ලයිරා” කියන තරු රටාව. මේ නිසා මේ උල්කාපාත වර්ශාව “ලයිරිඩ්ස්” කියල නම් කරනවා.

ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාව බලන්න හොඳම කවද්ද? කීයටද?

සාමාන්‍යයෙන් මේ ලයිරිඩ් උල්කාපාත වර්ශාව අප්‍රේල් මාසයේ 15 වෙනිදා විතර ආරම්භ වෙලා අප්‍රේල් 25 විතර යනකං නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් මේ උල්කාපාත වර්ශාව උච්චතම අවස්ථාවට පැමිනෙන්නෙ 22 සහ 23 දිනයන් වලදී. මේ දවස් වලදී ලයිරා කියන තරු රටාව අපේ අහසේ පායන්නේ රාත්‍රී 9.45 ට විතර. ඒ කියන්නේ ඊට පැය හයකට විතර පස්සේ පාන්දර 3 – 4 වනෙකොට මේ තරු රටාව එහෙමත් නැත්නම් උල්කාපාත වර්ශාවේ කේන්ද්‍රය චුට්ටක් උතුරට බරවෙන්න අහසේ මුදුනට ලංවෙනවා. මේ උල්කාපාත වර්ශාව බලන්න හොඳම කාලය වෙන්නේ මෙන්න මේ පාන්දර 3-5 අතර කාල සීමාව.

දුර දක්නයක්, දුරේක්ෂයක් ඕන වෙයිද මේක බලන්න?

නැහැ, සාමාන්‍යයෙන් උල්කාපාත වර්ශාවක් නිරීක්ෂණය සඳහා කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා පියවි ඇසෙන්ම මේ උල්කාපාත වර්ශාව කිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි වටා පිටාවේ ආලෝකය අඩු ප්‍රදේශයක් නම් වඩා වැඩි උල්කාපාත ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න ඔබට හැකි වේවි.

මේක උල්කාපාත “වර්ශාවක්” නිසා උල්කාපාත ගොඩාක් එකපාර බලන්න පුළුවන් වෙයිද?

බැහැ, සාමාන්‍යයෙන් උල්කාපාත වර්ශාවකදි පැයකට බලා ගන්න පුළුවන් උල්කාපාත ප්‍රමාණය එම පර්ශාව අනුව වෙනස් වෙනවා. මේ ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාවේ උපරිම අවස්ථාවේදී පැයකට බලා ගන්න පුළුවන් උල්කාපාත ප්‍රමාණය 15-20 ක් විතර වේවි කියල විද්‍යාඥයෝ අනුමාන කරනවා.

උල්කාපාත වර්ශාවත් එක්ක හමුවෙන “බෝනස්” එක

මේ දවස්වල පාන්දර 1.30 ට විතර නැගෙනහිර අහස බැලුවොත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් තුන් දෙනෙක් එක පෙලට ඉතා ආසන්නව තියෙන ආකාරය බලන්න පුළුවන්. පාන්දර 2.00 විතර වෙනකොට නැගෙනහිර අහසේ ටිකක් විතර උඩට වෙන්නට අඟහරු, සෙනසුරු සහ බ්‍රහස්පති කියන ග්‍රහයින් තුන් දෙනාවම මේ ආකාරයට පේන්න තියෙනවා. ඉතින් ලයිරිඩ්ස් උල්කාපාත වර්ශාව බලන අතරේ මේ ගහලෝක ත්‍රිත්වය බලන්නත් අමතක කරන්නත් එපා.

අප්‍රේල් 18 වනදා පාන්දර 2.20 ට පමන අහඅසේ නැගෙන හිර දිසාවේ උදා වී තිබුනු බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ගහලෝක ත්‍රිතිවය. මෙම සටහනේ වම් පැත්තේ ඉහලින් පෙනෙන වේගා තරුව ලයිරා තාරකා රටාවේ දීප්තිමත්ම තරුවයි. ඊට මඳක් ඉහලින් දක්නට ඇත්තේ “ලයිරිඩ්” උල්කාපාත වර්ශාවේ කේන්ද්‍රයයි.

ඒ එක්කම මේ දවස්වල පාන්දර 2-3 පමණ වන විට අහසේ මුදුනට ආසන්නව ගෝනුස්සකුගේ හැඩය නියෝජනය කරන වෘශ්චික රාශිය හඳුන ගන්න පුළුවන්. මේ රාශියේ ගෝනුස්සාගේ නැට්ට ආසන්නයෙන් අහසේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු දිශාවට විහිදෙන තුනී වළාකුළු රටාවක් දැක ගන්න පුළුවන් වේවි. හැබැයි මේ ඇත්ත්ටම වළාකුළු නෙමෙයි. ඒ තමයි අපිව අයත් වන ක්ෂීරපථය කියන මන්දාකිණිය. අපි ඇත්තටම මේ මන්දාකිණිය ඇතුලේ ඉන්න නිසා අපිට මුළු මන්දාකිණිය නොපෙනුනත් මේ විදිහට මන්දාකිණියේ කොටසක් බලාගන්න පුළුවන්.

මේ ඔක්කකොම සලකලා බලපුවාම 22-23 දිනවලදී පාන්දර නැගිටලා අහස බලන්න පුළුවන් වුනොත් ඒක ඔබටත් ඔබේ දූ දරුවන්ටත් හොඳ අත්දැකීමක් වේවි. හැබැයි ප්‍රවේසමෙන් අහස නිරීක්ෂණය කරනවා කියන්නේ ඉතාම ලේසියෙන් ඇබ්බැහි වෙන්න පුළුවන් පුරුද්දක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.