කොවිඩ් 19 ගෝලීය වසංගතය දේශීය නව නිපැයුම් ක්ෂේත්‍රයට ආශිර්වාදයක්ද?

Covid 19 and Inventions

වසර මිලියන ගනනක මානව වර්ගයාගේ පැවැත්ම සලකා බැලූ විට ඔවුන් අද ළඟ කරගෙන ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව ඔවුන් තමන් මුහුණ දෙන දුශ්කරතාවන්ට සාර්ථකව මුහුණ දීම සඳහා උපයෝගී කරගන්නා ක්‍රමවේදයන්ය. මෙම ක්‍රමවේදයන් විවිධ උපක්‍රම, කාර්යයන් පහසු කරගන්නා උපකරණ, රෝග සඳහා ඖෂධ ආදී නොයෙක් ආකාර වලින් හමු විය හැක. සෑම විටම මෙවන් ක්‍රමවේදයක් බිහිවන්නේ මිනිසා යම් දුශ්කරතාවයකට මුහුණ දෙන අවස්ථාවන් වලදීය. ඊට හේතුව ඒ සෑම අවස්ථාවකදීම සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කිරීමට සිදු වීමයි. ‍‍

දෙවන ලෝක යුද්ධයෙන් උදාහරණ

මෑත කාලීනව මිනිසා පොදුවේ මුහුණ දුන් ගෝලීය දුෂ්කරතාවක් ලෙස දෙවන ලෝක යුද්ධය හැඳින්විය හැකියි. මුළු ලොව පුරා පැවති මෙම යුධ තත්ත්වයේදී රටවල් බොහොමයක් සෘජුව යුද්ධයට මැදිහත් වූ අතර අනෙක් රටවල් වක්‍රව මෙහි බලපෑම් වලට මුහුණ දුන්හ. මෙම යුද්ධයේ ස්වභාවය අනුව ජයග්‍රහණය සඳහා විද්‍යාව හා තාක්ෂණයේ දායකත්වය කැපී පෙණින. යුද්ධයේ සෑම පාර්ශවයක්ම මේ නිසා සෑම විටම විරුද්ධ පාර්ශවයට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමේ පරමාර්ථයෙන් විද්‍යාව හා තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් නව නිපැයුම් බිහිකිරීමට වැඩි අවධානයක් යොමු කර තිබිණ. ඒ අනුව මෙම කාලසීමාව තුල බිහිවූ නිපැයුම් කිහිපයක් ලෝකය හාත්පසින්ම වෙනස් කිරීමට සමත්ව තිබේ. ‍

මෙම සොයා ගැනීම් අතර වඩාත් කැපී පෙනෙන නව තාක්ෂණයන් අතර, ජෙට් එන්ජිම, න්‍යෂ්ඨික බලය, පෙනිසිලීන් ප්‍රතිජීවකය, සහ රොකට් තාක්ෂණය වඩාත් වැදගත් තැනක් ගනියි.

දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම අදද ජීවිත රැසක් ගලවා ගැනීම සඳහා පෙනිසිලීන් සහ අනෙකුත් ප්‍රකිජීවක ඖෂධ මහඟු දායකත්වයක් ලබා දී ඇත.
දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනිය විසින් නිපදවූ V2 රොකට්ටුව අභ්‍යවකාශයට යැවුනු පළමු රොකට්ටුව වුනු අතර, මෙය යුධ කාලසීමාවෙන් පසු අභ්‍යවකාශ ගමන් සඳහා භාවිතා වුනු රොකට් තාක්ෂණයේ ආරම්භය ලෙස හැඳින්විය හැක.

‍ලෝකයටම අලුතෙන් සිතීමට ලැබුනු තවත් මහඟු අවස්ථාවක්, කොවිඩ් 19 ගෝලීය වසංගතය

‍‍‍විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥයින් තාලයක් තිස්සේ දකිමින් සිටි නපුරුම සිහිනයන් අතර ඉහලින්ම තිබූ සිහිනයක් ලෙස ගෝලීය මට්ටමේ දැවැන්ත වසංගත රෝගී තත්ත්වයක් හැඳීන්විය හැක. පසුගිය දෙසැම්බරය අග භාගයේදී චීනයේ වූහාන් නඟරයේදී සොයා ගැනුන SARS CoV – 2 වෛරසය මෙම නපුරු සිහිනය සැබෑවක් බවට මේ වන විට පත් කොට ඇත. මෙම වෛරසය නිසා හටගන්නා කොවිඩ් 19 රෝගය ලොව පුරා මිලියන 21 කට වඩා වැඩි ප්‍රමාණයකට වැළඳී ඇති අතර, මෙම රෝගය නිසා වාර්ථා වන මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහසකට වඩා වැඩියි. ලෝකයේ බලවත්ම හා දියුණුම යැයි සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජීනය වැනි දැවැන්තයින් පවා ආර්ථික වශයෙනුත්, සමාජයීය වශයෙනුත් අසරණ කරන්නට මෙම වෛරසය මේ වනවිටත් සමත්ව තිබෙනවා.

‍කොව්ඩ් 19 ගෝලීය වසංගතයේ බලපෑම ලංකාවටත්!

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් 19 රෝගියා හඳුනා ගනු ලබන්නේ මේ වසරේ ජනවාරි 27 වන දායි. ඒ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක්. ඇය පෙබරවාරි 19 වන දා සුවය ලබා රෝහලෙන් පිටව යන අතර මාර්තු 10 වනදා කොවිඩ් ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ලෙස 52 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙක් හඳුනා ගනු ලබනවා. මෞ ආකාරයට ශ්‍රී ලංකාව තුල ආරම්භ වූ කොවිඩ් 19 වසංගතය මේ වන විට ජීවිත 7 ක් රටට අහිමි කොට තවත් 238 ක් රෝගී තත්ත්වයට පත් කිරීමට සමත්ව තිබෙනවා. ‍

මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර, පාසැල්, විශ්ව විද්‍යාල ආදී බොහොමයක් ආයතන වසා දමා තිබෙනවා.

‍කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පැමිණි නව නිපැයුම් රැල්ල

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගත තත්ත්වයේ ආරම්භයත් සමග විශාල අභියෝග රැසකට මුහුණ දීමට රටට සිදුවනවා. විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය අංශය ආශ්‍රිතව විවිධ අභියෝගයන් රැසක් නිර්මාණය වනවා. ඒවා අතර රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීමේ අභියෝගය, ඔවුන් රෝහල්ගතව සිටියදී ඔවුන්ගේ උපස්ථානයන් සිදු කිරීම, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂාව, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය ගෙන යාම ආදිය මෙම සුවිශේෂී අභියෝගයන්ගෙන් කිහිපයක්. දෙවන ලෝක යුධ සමයේදී වූවාක් මෙන් ශ්‍රී ලංකා ජන සමාජය මෙම අභියෝගයන්ට මුහුණ දුන්නේ වෙනස්ම ආකාරයකින්. ඔවුන් සෑම විටම ඔවුන්ට හැකි පරිදි මෙම අභියෝගයන්ට එරෙහිව යෑමට පසුබට උනේ නැහැ. රට පුරා විවිධ ප්‍රදේශ වලින් විවිධ තරා තිරමේ, විවිධ වයස් කාණ්ඩ වල නව නිර්මාණ කරුවන් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙස විවිධ නව නිර්මාණ සහ නව සංකල්පයන් ඉදිරිපත් කරන ආකාරය පසුගිය සති කිහිපය පුරා මාධ්‍ය විසින් වාර්ථා කරනු ලැබූවා. පහත දැක්වෙන්නේ එවන් නව නිපැයුම් කිහිපයක්. ‍

  1. වේගා ඉනොවේශන්ස් පුද්ගලික ආයතනය විසින් නිශ්පාදනය කරන ලද ශ්වසන ආධාරක යන්ත්‍රය

2. මෙඩිබී (Medibee) ස්වේච්ඡා ඉංජිනේරු කණ්ඩායම මඟින් නිශ්පාදනය කරන ලද ශ්වසන ආධාරක යන්ත්‍රය. මෙම යන්ත්‍රයේ දෘඩාංග, මෘදුකාංග ඇතුළු සියළු දෑ මෙම කණ්ඩායම විසින්ම නිර්මාණය කරන ලද ඒවා වේ.

3. සූර්ය බලය උපයෝගී කරගෙන ක්‍රියා කරන මුව ආවරණය, මෙහි නිර්මාණකරුවා සරසවි ශිෂ්‍ය බුද්ධි නදීශ තෙන්නකෝන් ප්‍රමුඛ Puzzle Innovations ආයතනයයි.

4. රෝගීන් ප්‍රවාහණයේදී භාවිතා කල හැකි ඒකලන කුටීරය, නිපදවනු ලැබූවේ මහරගම වායුසමීකරණ කාර්මික චමින්ද කරුණාතිලක ඇතුළු කණ්ඩායමයි.

5. මලින්ද දික්මාදුගොඩ විසින් කෑගල්ල මහරෝහල සඳහා නිර්මාණය කරන ලද විශබීජහරණ කුටීරය.

6. නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද රෝගීන්ගේ උපස්ථාන කටයුතු සඳහා යොදාගත හැකි විශේෂ රෝබෝ යන්ත්‍රය.

7. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කරන ලද සැක කටයුතු කොවිඩ් 19 ආසාදිතයින්ගේ සෙම් පටල ලබා ගැනීම සඳහා භාවිතා කරන කෘතීම පුළුන් swab.

ඉහතින් දැක්වෙන්නේ පසුගිය දින කිහිපය තුල මාධ්‍යයන්ගේ අවධානයට පාතු වුනු නව නිපැයුම් කිහිපයක් පමණයි. මෙවැනි නව නර්මාණ සිය ගනනක් මේ වනවිටත් බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති අතර ඒවා වඩාත් වැඩි දියුනු කිරීමට ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම රට තුල නව නිර්මාණ දිරිගැන්වීමටත් එවා ව්‍යාපාරයන් දක්වා දියුණු කිරීමට මඟපෙන්වීමටත් දායකත්වය දක්වන ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි.

කොවිඩ් 19 ආශ්‍රිත නව නිපැයුම් සඳහා අත දීමට ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සූදානම්

ශ්‍රී ලංකාවේ නව නිර්මාණ ගැන සැලකීමේදී අප සමාජයේ නව නිර්මාපකයන්ගේ සිතුවිලි පාදක කරගෙන පැන නගින නව නිර්මාණයන් ඉදිරියට ගෙන යාමට අත හිත දෙන ප්‍රධානතම ආයතනය ලෙස ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හැඳින්විය හැකියි. එහ් වත්මන් කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර අප හා අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන ඇතුලත වඩාත් වැඩි නව නිර්මාණ සමූහයක් ශ්‍රී ලංකාව තුල නිපදවුනු බවයි. ඒ අනුව මෙම සති කිහිපය ඇතුලත නව නිර්මාණ 150 කට වැඩි ප්‍රමාණයක් කොම්සම වෙත ඉදිරිපත් කර ඇති බව මහාචාර්ය රංගික පවසනවා.

ශ්‍රී ලංකා නව නැපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර කොවිඩ් 19 වසංගතය හා ඒ ආශ්‍රිතව අප අවධානය යොමු කලයුතු දෑ පිළිබඳව අදහස් දක්වමින්.

” අපට ලැබුනු නව නිර්මාණ පිළිබඳ අයදුම්පත් සියල්ල කොමිසමේ විශ්ලේෂණයට භාජනය කර ඒවායින් 138 ක් ඉදිරියට සලකා බැලීමට තොරා ගත්තා. ඒවා අතරින් දැනටමත් 12 ක් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදා හැර අවසන්. තවත් 6ක් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා තෝරා ගෙන ඒවා සඳහාත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටිනවා.”

“අප වෙත ලැඅබෙන සෑම නව නිර්මාණයක්ම සඳහා අපගේ ආයතනයේ තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් යෙදවෙන අතර, ඔවුන් එම නිර්මාණයන් දැඩි විශ්ලේෂණයට භාජනය කර ඒවා ව්‍යාපාරයක මට්ටමට සංවර්ධනය කරගැනීමට අවශ්‍ය සියළුම මඟපෙන්වීම සහ මූල්‍යමය උපකාරයන් ලබා දීමට නව නිර්මාපකයින්ගේ කොමිසම ලෙස අප බැඳී සිටිනවා. ”

“ඒ එක්කම කිසියම් නව නිර්මාණයක් සඳහා පේටන්ට් බලපත්‍ර අවශ්‍ය නම් ඒවා ලබා දීමටත් මඟපෙන්වීමට නව නිර්මාපකයින්ගේ කොමිසම සූදානමින් සටිනවා.” මහාචාර්ය රංගික හලවතුර පවසා සිටියා. ‍

කොවිඩ් 19 න් පසු??‍‍

කොවිඩ් 19 රෝගය හා බැඳුනු නව නිපැයුම් මේ ආකාරයට බිහිවෙද්දී මෙම නව නිර්මානකරුවන් දිරි ගන්වමින් මෙම ඇතිවූ නව පිබිදීම මේ ලෙසම පවත්වාගෙන යාම බලධාරීන්ගේ වගකීමක් බවට පත්වනවා. එමෙන්ම මෙම නව නිර්මාණ ඇසුරින් බිහිවන නිශ්පාදනයන් ජාතික හා අන්තර්ජාතික තලයන්හී තරඟකාරී වෙළඳපොල භාණ්ඩ බවට පත්කරමින් රටට අත්‍යාවශ්‍ය විදේශ විනිමය ගෙන ආහැකි මට්ටමට ගෙන ඒමට ප්‍රයත්නයන් දැරීමද ඉතා වැදගත්. ඒ අනුව නොසිතූ මොහොතක පැමිණි මෙම වසංගතය නිසි පරිදි කළමණාකරණය කරගැනීමෙන් එය ආශාර්වාදයක් කර ගැනීම අපහසු නොවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.