covid-19

දශක ගනනකට පෙර මැලේරියාවට බැට දුන් ඖෂධය කොරෝනා මැඩලීමට නැවතත් කරලියට!

මාස දෙකකට ආසන්න කාලයක් තුල රටවල් 180 කට වැඩි ප්‍රමාණයකට පැතිරී ගෝලීය වසංගතයක් තත්ත්වයට පත්වුන නව කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝක බලවතුන් ඇතුළු රටවල් රැසක් ඉතා දරුණු ප්‍රශ්ණ රැසකට ඇද දමා තිබෙනවා. අද වන විට මේ රෝගය නිසා මියගිය සංඛ්‍යාව 11000 ඉක්මවා තිබෙනවා.

මෙම රෝගය මුලින්ම සොයා ගත් පසුගිය වසරේ දෙසැම්බර් අගභාගයේ සිටම ලොව පුරා විද්‍යාඥයින් සහ පරයේෂණ ආයතන මෙම රෝගයට ඖෂධයක් සොයාගැනීමට වෙහෙසුනා. ඒ අනුව අද වන විට මෙම රෝගයට බඳුන්වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් කළමණාකරනය කරගැනීමට උදව් වන ඖෂධ ගනනාවක්ම යෝජනා වී තිබෙනවා.

මෙම ඖෂධ අතරින් පසුගිය දින දෙක තුන ඇතුලත වඩාත් කතා බහට ලක්වූ ඖෂධයක් ලෙස දශක ගණනාවක් තිස්සේ මැලේරියා රෝගය සඳහා භාවිතා කල ක්ලෝරොක්වීනින් හැඳින්විය හැකියි. ඊට හේතුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය ඇමරිකානු කොවිඩ් 19 රෝගීන් හට ප්‍රතිකාර ලෙස ලබා දීමට යෝජනා කිරීමත් සමඟයි.

මැලේරියාව මැඩලීමට උදව් දුන් ක්ලෝරෝක්වීන්

ඈත අතීතයේදී පේරු වැසියන් උණ රෝගයට ප්‍රතිකාරයක් ලෙස සින්කෝනා ශාකයේ පොත්ත ඇසුරෙන් සාදා ගත් ඖෂධ භාවිතයට ගනු ලැබුවා. මේ අනුව යමින් මෙම ශාකය ඇසුරින් නිපදවූ ශාකසාර ඖෂධ 1633 තරම් ඈත අවධියේදී යුරෝපයට හඳුන්වා දෙනු ලබනවා. නමුත් මෙම ශාකයේ අඩංගු ක්‍රියාකාරී සංඝටකය වන ක්ලෝරොක්වීන් වෙන්කර හඳුන්වාදීමට සමත් වෙන්නේ අද කොරොනා රෝගය නිසා බැට කන ඉතාලියේ විසූ පර්යේෂකයෙක් වන හෑන්ස් ඇන්ඩර්සැග් විසින් 1934 වර්ශයේදීය. නමුත් මෙම ඖෂධය දශකයකට ආසන්න කාලයක් නොසලකා හැර තිබෙන්නේ එය මිනිස් සිරුරට අහිතකර බවට පළවූ මතයන්ද සමඟයි. නමුත් වසර 10 කට පමණ පසු එය සායනික පරීක්ෂාවකින් අනතුරුව මැලේරියා රෝගයට එරෙහිව යොදා ගනු ලබනවා. ඒ අනුව එවකට ගෝලීය වසංගතයක්ව තිබූ මැලේරියා රෝගයේ භයානක කම අඩු කරමින් එහි මර්ධන කටවයුත් වඩාත් කාර්යක්ෂම කරන්නට මෙම ඖෂධය උදව් උනා.

සින්කොනා ශාකය (ඡායාරූපය – https://www.britannica.com/ )

පසුකාලීනව මැලේරියා පරපෝෂිතයා මෙම ඖෂධයට එරෙහිව ප්‍රතිරෝධී බවක් පෙන්වීමට පටන් ගත් අතර මේ හේතුව නිසාම මෙය මැලේරියාව සඳහා භාවිතයට ගැනීම ක්‍රමයෙන් අඩු වුනා. නමුත් පසුකාලීනව එය රූමැටික ආතරයිටීස් ඇතුළු රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර පිණිස භාවිතා කරනු ලැබුවා.

Chloroquine

ක්ලෝරොක්වීන් ඇසුරින්ම නිපදවූ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පසුකාලීනව ඩඩාත් ප්‍රචලිත විය. එයට එක් හේතුවක් වූයේ ක්ලෝරොක්වීන් අධිමාත්‍රාවක් ගත් විටෙක එය මාරාන්තික විය හැකිවීම සහ තවත් අතුරු ආබාධ රැසකට මුල්වීමේ ඇති හැකියාවයි.

කොවිඩ් 19 සහ ක්ලොරොක්වීන්

ක්ලෝරෝක්වීන් රසායනිකයේ ප්‍රතිවෛරස ලක්ෂණ පිළිබඳ මෑත කාලීනව පර්යේෂණ ගණනනාවක් සිදුකල අතර එහිදී මෙම රසායනිකය SARS සහ ZIKA වෛරස වලට එරෙහිව යම් සාර්ථක ප්‍රථිපල පෙන්වා තිබූ නිසා එය මෑතකදී ගෝලීය වසංගතයක් තත්ත්වයට පත්වුනු COVID19 රෝගය සඳහාද සාර්ථක වනු ඇතැයි මත පලවුනු අතර, මෑතකදී සිදුකල යම් පර්යේෂණ කිහිපයකදීම මෙම රසායනිකය විශේෂයෙන්ම හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් රසායනාගාර තුල පවත්වාගෙන යන සෛල වගාවන් ආශ්‍රිතව මෙම වෛරසය පැතිරීම අඩු කිරීමට සමත් බව සොයාගනු ලැබුවා.

නමුත් තවමත් මෙම ඖෂධය මෙම කොවිඩ් 19 රෝගීන් සඳහා බලපාන අන්දම පරීක්ෂා කිරීම සඳහා පුළුල් සායනික පරීක්ෂාවක් සිදු කර නැහැ. නමුත් පසුගිය මාර්තු 17 වනදා එළිදැක්වුන පර්යේෂන පත්‍රිකාවක් මඟින් රෝගීන් 20 දෙනෙකු යොදාගනිමින් කරනුලැබූ සීමිත සායනික පරීක්ෂාවක ප්‍රථිපල එළිදක්වනු ලැබුවා. මෙමගින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ඇසිත්‍රොමයිසීන් නම් ප්‍රතිජීවක ඖෂධය ලබාදීම මගින් රෝගීන් තුල වූ වෛරස ආසාදන තත්ත්වය කාර්යක්ෂම ලෙස පාලනය කරගැනීමට හැකි බව පෙන්වා දී තිබෙනවා.

ප්‍රංශයේ පර්යේෂණ ආයතනයක් මූලිකව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ්19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සහ ඇසිත්‍රොමයිසීන් ඖෂධ සංකලනය මගින් පාලනය කල හැකි බව පෙන්වනු ලැබුවා.
සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව – මෙතනින්

මෙම පර්යේෂණ දත්ත ඔස්සේ යමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 රෝගය සඳහා ඉහත ඖෂධ සංකලනය සාර්ථක ප්‍රතිපල ලබාදෙන බවත් එම ඖෂධ සඳහා ඇමරිකානු ඖෂධ සහ ආහාර පිළිබඳ නියාමන අධිකාරියේ (FDA) අනුමැතිය ලැබුන බවත් ඇඟවෙන ට්විටර් පණිවිඩයක් නිකුත් කරනු ලැබුවා. නමුත් පසුව  ඖෂධ සහ ආහාර පිළිබඳ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කරමින් මෙම ඖෂධ සංකලනය සායනික පරීක්ෂාවක් සඳහා භාවිතා කිරීසමට පමණක් අවසර දුන් බව පවසනු ලැබුවා. එමෙන්ම එම අධිකාරිය කියා සිටියේ කොවිඩ් 19 රෝගය සඳහා අනුමත කල ඖෂධයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් යොදා ගත නොහැකි බවයි.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් පිළිබඳ ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සිදුකල ප්‍රකාශය FDA නිලධෘරියෙකු විසින් ප්‍රසිද්ධ මාද්‍ය සංවාදයකදී ප්‍රතික්ෂේප කරන ආකාරය

ඉහත ප්‍රංශ පර්යේෂණ පත්‍රිකාවම භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද කොවිඩ් 19 කාර්යසාධන බලකාය වෙත විශේෂ වාර්ථාවක් ඉදිරිපත් කරමින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ඇස්‍රිතොමයිසීන් ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 රෝගීන් හට යොදාගැනීමේ හැකියාව පිළිබඳ යෝජනා කර සිටියා. මෙම ආරන්චිය සැලවීමත් සමඟම මහජනතාව මෙම ඖෂධ පිළිබඳ විමසීම් ඔසුසැල් වලින් කළ අවස්ථාවන් වාර්ථා වූ බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා අද (මාර්තු 23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා. එහිදී එතුමන් අවධාරණය කර සිටියේ මෙම ඖෂධ කොවිඩ් 19 ආසාධිත රෝගියෙකුගේ රෝගී තත්ත්වය කළමණාකරණය කිරීම සඳහා රෝහල් තුලදී පමණක් භාවිතා කල හැකි බවත්, රෝගය පැතිරීම වැලැක්වීමට එම ඖෂධ භාවිතා කිරීමෙන් පලක් නොවන බවත්ය.

දැනට ඇති දත්ත අනුව පෙනීයන්නේ මෙම ක්ලොරොක්වීන්, ඇවිගන් සහ කොවිඩ් 19 සඳහා යෝජිත ඖෂධ පිළිබඳව යම් සාධනීය නිගමනයකට එළඹීමට තවමත් නොහැකි බවයි. එවන් අවසන් නිගමනයකට පැමිණෙන්නේ නම් මෙම ඖෂධ නිසි පුළුල් සායනික පරීක්ෂාවලින් පසුව ඒවායේ සාර්ථකත්වය පිළීබඳව පැහැදිලි අදහසක් ලබා ගත යුතු බව අපගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.