ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ශික සැසිවාරය දෙසැම්බර් මුල කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රෙය්දී

ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ශික මහා සැසිවාරය දෙසැම්බර් මස 8 වනදායින් ආරම්භවන සතිය පුරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ආශ්‍රිතව පැවැත්වෙන බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය නිවේදනය කර සිටිනවා. මෙම සැසිවාරය පිළිබඳ වැදගත් කරුණු රැසක් එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ, එනම් නොවැම්වබර් 28 වනදා පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකික විද්‍යාඥයින්ගේ ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) 1944 දී ආරම්භ කරන ලද අතර රට තුළ විද්‍යාව ප්‍රචලිත කිරීම හා දියුණු කිරීම අරමුණු කරගනිමින් වර්ෂ 1966 දී අංක 11 දරන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාගත කරන ලදි. වෛද්‍ය, දන්ත හා පශු වෛද්‍ය විද්‍යාව (A කොටස), කෘෂිකර්ම හා වන විද්‍යා (B කොටස), ඉංජිනේරු, ගෘහ නිර්මාණ හා මැනුම් (C කොටස), ජීව හා පෘථිවි විද්‍යා (D කොටස), භෞතික විද්‍යාව (E1 කොටස), රසායනික විද්‍යා (E2 කොටස), පරිගණක විද්‍යාව (E3 කොටස), සමාජ විද්‍යා (F කොටස) යන විද්‍යාවේ සෑම අංශයක්ම පාහේ නියෝජනය වන අංශ 8 කින් සමන්විත ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සාමාජික පිරිස මේවන විට දසදහස ඉක්මවා තිබේ. නිවාස හා මූල්‍ය කමිටුව (HF), පර්යේෂණ කමිටුව (GRC), පරිසර කමිටුව (EC), ආචාර ධර්ම කමිටුව, විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා වූ කමිටුව (CPS) සහ වෙනත් විශේෂිත කමිටු යන ව්‍යවස්ථාපිත කමිටු වලින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සමන්විත වේ.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි වත්මන් සභාපතිනි, කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය


ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි වත්මන් සභාපතිනි, කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම සංගමයෙහි 75 වන සංවත්සරයට (2019 ජූලි 29) සමගාමීව වසර පුරා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මියගේ සංකල්පයක් වන  “තිරසාර අනාගතයක් සඳහා ජෛව තාක්ෂණය” යන 2019 වසර සඳහා වන තේමාව පදනම් කොට, විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජෛව තාක්‍ෂණ සම්මන්ත්‍රණ මාලා හතක් වසරේ දෙවන භාගය පුරා පවත්වන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාව තුලදී දිවයින පුරා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය විශ්ව විද්‍යාල, පෞද්ගලික පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුලත්ව ශ්‍රී ලංකාවේ අදාළ සියලු පාර්ශවවල දේශීය විද්වතුන් හා විදේශීය විද්වතුන් තම දැනුම හා පර්යේෂණ සොයාගැනීම් බෙදාගනිමින් ශ්‍රී ලංකාවේ ජෛව තාක්‍ෂණ සංවර්ධනය උදෙසා ඵලදායී ප්‍රධාන දේශන පවත්වා තිබේ. එක් එක් සම්මන්ත්‍රණයේ  අන්තර්ගතයන්ද සාරාංශගතකොට පොත් පිංචක් ලෙස මුද්‍රණය කර බෙදාහරින ලදී. එසේම ශ්‍රී ලංකාවේ ජෛව තාක්‍ෂණ පර්යේෂණ පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තාවක් සකස් කිරීමේ අරමුණින් තරුණ ශාස්ත්‍රක්ඥයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව තුල සිදු කරන ජෛව තාක්‍ෂණ පර්යේෂණ පිළිබඳ දත්ත ලබා ගනිමින් සිටියි. මේ අතරම “ජෛව තාක්ෂණ නවෝත්පාදන හා ව්‍යවසායකත්වය” පිළිබඳ විශේෂ වැඩමුළුවක් ද මෙම වැඩසටහන් වලට සමගාමීව පවත්වන ලදි.

පාසැල් පදනම් කරගත් විද්‍යාත්මක වැඩසටන් රැසක් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් ක්‍රියාත්මක කරන අතර, කොළඹ D S සේනානායක විද්‍යාලයේ පැවැත්වුන පරිසර දින සැමරුමකදී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජීකයෙක් විසින් පාරිසරික ගැටළු පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කරමින්

බොහෝ දියුණු රටවල න්‍රියාත්මක වන නවීන අධ්‍යාපනික ක්‍රමවේදයක් වන STEM අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුලද ප්‍රචලිත කරවීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති අතර එහි ආරම්භයක් ලෙස පාසැල් තුල STEM සමාජ දියත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සක්‍රිය දායකත්වය ලැබුන අතර දීර්ඝ සාකච්ඡාවලින් පසුව CPS සහ SEC කමිටුවල කණ්ඩායම් විසින් මෙය ක්‍රියාකාරී පර්යේෂණ වැඩසටහනක් ලෙස ආරම්භ කිරීම සඳහා අදාළ අත්පොත්ද නිශ්චය කර තිබේ . STEM ගුරුවරුන් පුහුණු කිරීමේ පළමු වැඩමුළුවද පසුගියදා පැවැත්වුනු අතර මෙම පාසල් STEM සමාජ ළඟදීම ආරම්භ වීමට නියමිතය. මෙම වසරේ සිට STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අරමුදල් ලබා ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද පසුගියදා පැවැත්වුන ශිල්පසේනා ප්‍රදර්ශණය අතරතුරදී සිදු කරන ලදි.‍

මේ අතර මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) හා එක්ව අන්තර්ජාතික තාක්ෂණික අනුග්‍රහය යටතේ පර්යේෂණ හා සංවර්ධන නවෝත්පාදන හා සමාජ නවෝත්පාදන යන දෙඅංශයේම සමාජීය බලපෑම අරමුණු කරගනිමින් “From innovation to impact (නව්‍යකරණයේ සිට එහි බලපෑම දක්වා) 2019” සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ඒ හා සමගාමීව පර්යේෂණ පත්‍රිකා 12ක් ජාත්‍යන්තර අයිඊඊඊ එක්ස්ප්ලෝර් (IEEE explorer) සඟරාවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත්වන ප්‍රමුඛතම විද්‍යා පර්යේෂණ ප්‍රකාශණයක් වන SLAAS සඟරාවද මේ වසරේ එහි දෙවන වෙළුම ප්‍රකාශයට පත් කළ අතර මෙවැනි විවිධාකාර ක්‍රියාකාරකම් රාශියක් SLAAS මගින් වසර පුරා පවත්වන ලදි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි 75 වන වාර්ෂික සැසිවාරය දෙසැම්බර් 8 සිට 13 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් 8 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලේ (UCSC) මහාචාර්ය වී කේ සමරනායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. දේශීය හා විදේශීය කථිකයන් සහභාගිත්වන SLAAS තේමා සම්මන්ත්‍රණයද දෙසැම්බර් 9 වන දින එම පරිශ්‍රය තුල පැවැත්වීමට නියමිතය. තවද විද්‍යාත්මක සැසි (වාචික හා පෝස්ටර් ඉදිරිපත් කිරීම්), සභාපතිවරැන්ගේ දේශනයන්, ආරාධිත දේශන, සාකච්ඡා මණ්ඩල ආදිය ඇතුළත් විද්‍යා උළෙල දෙසැම්බර් 10, 12 සහ 13 යන දිනවලදී විද්‍යා පීඨය සහ UCSC  පරිශ්‍රය තුල පැවැත්වේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මඟින් වාර්ශිකව සංවිධානය කරනු ලබන පාසල් දූ දරැවන් සඳහා වන නව නිපැයුම්කරුවන්ගේ තරගයද සහ නව නිපැයුම් ප්‍රදර්ශණයද මේ වැඩසටහන් මාලාවේ  විශේෂිත අංගයක් ලෙස පැවැත්වේ.

SLAAS 75 වන වාර්ෂික සැසිවාරයෙහි වැඩසටහන් පිළිබද වැඩි විස්තර www.slaas.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හා 011-2688740 ඔස්සේ SLAAS කාර්යාලය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැක. එසේම, 2019 දෙසැම්බර් 10 සිට ආරම්භ වන විද්‍යාත්මක සැසි සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ශ්රී ලංකා විද්යාභිවර්ධන සංගමය ජනතාවට ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.