පාරග්‍රහයින්

ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් විසින් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනිති

ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් විසින් පළමුවරට අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගෙන ඇත. මෙම සොයාගැනීම පිළිබඳව පසුගියදා මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිනි. 
ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017 වසරේදී, අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි තාරකා වලට අයත් ග්‍රහ මණ්ඩල සොයා ගැනීම සදහා නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුමේ දත්ත උපයෝගී කරගනිමින් මෙම පර්යේෂණ ආරම්භ කළ අතර එම පර්යේෂණ සදහා වර්ෂ 2018 දී මහේෂ් හේරත් මහතා නවක විද්‍යාඥයකු ලෙස මෙම පර්යේෂණයට පුර්ණකාලීනව සම්බන්ධ විය.

නව ග්‍රහලෝක සොයාගැනීම සිදුකල ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායම, මහාචාර්ය චන්දන ජයරත්න, මහේශ් හේරත් සහ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර.

 

 


නාසා ආයතනයේ කෙප්ලර්-2 මෙහෙයුම මගින් තරු 588, 991 පමණ නිරීක්ෂණය කර ඇති අතර විශේෂ පරිගණක අල්ගොරිතමක් භාවිතා කර ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හදුනාගනු ලැබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ හදුනාගෙන ඇති 3000 කට අධික තරු සංඛ්‍යාව අතුරින් විශේෂ නිරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු ග්‍රහලෝක ඇතැයි සැලකෙන තරු හදුනාගැනෙමින් පවතී.ඒ අනුව EPIC 212 737 443 ලෙස නම් කර ඇති මෙම තරුව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ආතර් සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයින් විසින් 2017 වසරේදී ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරුව වටා ගමන් කරන ග්‍රහලෝක දෙකක් සහිත ග්‍රහ මණ්ඩලය හදුනාගැනීමට හැකි විය. ආතර් සි ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යඥයකු වන මහේෂ් හේරත් මහතා විසින් මෙම විශේෂ පර්යේෂණය ආතර් සි ක්ලාක් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ අතර මේ සදහා විදේශීය රටවල විද්‍යාඥයින් 11 දෙනෙකුගේ තාක්ෂණික දායකත්වය ද ලබාගෙන තිබේ.

එංගලන්තයේ වසර 200 ක් තරම් පැරණි ලොව පිළිගත් රාජකීය තාරකා විද්‍යා සංගමය මගින් පළකරන MNARS සගරාවෙහි ජූලි කලාපය මගින් ( Monthly Notices of the Royal Astronomical Society) මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගැනීම පිලිබදව ප්‍රසිද්ධ කිරීමෙන් පසු ජාත්‍යන්තර වෙබ් අඩවි 2ක් වන Exo Planet Archive සහ Extra solar planet encyelotaedin යන වෙබ් අඩවි තුළටද මෙම ග්‍රහ මණ්ඩලය ඇතුලත් කර තිබේ.

මෙම ග්‍රහ ලෝක 2 වායු සහ පාෂාණ අතර තත්ත්වයකින් පවතින ස්කන්ධයෙන් සමාන ග්‍රහ ලෝක 2ක් වන නිසා ඒවායේ ගුරුත්වාකර්ෂණ බල ද එකිනෙකට සමාන වේ.එනම් එම අගය පෘථිවියට සාපේක්ෂව 1.4ක් පමණ වේ.අපගේ සූර්යාට වඩා තරමක් පැරණි තරුවක් වටා පිහිටි මෙම ග්‍රහ ලෝක දෙක වටා ද වායුගෝල පිහිටන අතර එම වායුගෝලයන් ද පෘථිවි වායුගෝලයට වඩා තුන්හතර ගුණයක් තරම් විශාල බවට මෙම පර්යේෂණ තුලින් හදුනාගෙන ඇත.
මෙම ග්‍රහලෝක දෙකෙන් විශාලත්වයෙන් කුඩා ග්‍රහලෝකය k 2 -310 B ලෙස නම්කර ඇති අතර එය එම තරුවට ආසන්නතම ග්‍රහලෝකය වන අතර එහි විශ්කම්භය 16437 km කි. එනම් එය අප පෘථිවිය සහ සූර්යයා පිහිටා ඇති දුරින් 10/1 ක් තරම් වේ. මෙහි මතුපිට උෂ්ණත්වය 265 0 C ක් පමණ වන බැවින් මෙම පළමු ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නොවේ. මෙහි භ්‍රමණ කාලය දවස් 13.6 කි.
විශාලත්වයෙන් දෙවෙනි තැන ගන්නා ග්‍රහලෝකය k 2 -310 C ලෙස නම්කර ඇති අතර එහි විෂ්කම්භය 17074 Km කි.මෙහි මතුපිට උෂ්ණත්වය 42 0 C වන අතර මෙම ග්‍රහලෝකයේ ජලය තිබිය හැකි ග්‍රහලෝකයක් ලෙස මෙම පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් හදුන්වයි. පෘථිවියේ ඝනකමට වඩා තුන් හතර ගුණයක් තරම් විශාල මෙම ග්‍රහලෝක දෙකෙන් වඩාත් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකයෙහි භ්‍රමණ කාලය දවස් 65.6 ක් වන අතර එය අප පෘථිවිය සූර්යයා අතර දුර මෙන් 3/1 ක දුරකින් පිහිටයි. මෙම ග්‍රහලෝක දෙකෙහිම ස්කන්ධයන් සමාන වන නිසා මෙම දෙවන ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය ද පෘථිවියට සාපේක්ෂව 1.4 කි.

ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායම මඟින් සොයාගත් බව ග්‍රහලෝක දෙකෙහි දත්ත සංසන්දනයක්.


මෙම EPIC 212 737 443 තරුව තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර එය වටා පිහිටි ග්‍රහලෝක දෙක එකම වේගයකින් භ්‍රමණය වන නිසා හැමවිටම එක් පැත්තක් තරුව දෙසට යොමුවන අතර අනෙක් පැත්ත හැමවිටම අදුරු කලාපයක් ගනී.
ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ මෙම නව ග්‍රහ මණ්ඩලයේ සොයාගැනීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් පිළිගැනීමක් හිමිවන අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂණය අතින් ඉදිරියෙන් ඇති දියුණු යුරෝපීය රටවල් අතරට ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක සම්ප්‍රාප්තිය අපට මහත් අභිමානයකි.

තාරකා විද්‍යා අංශය,
ආතර් සී ක්ලාක් ආයතනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.