BT Corn

ජාන විකරණය කල බෝග පාරිසරිකවත්, ආර්ථිකවත් වාසි දායී වේ! නව පර්යේෂණ වාර්ථාවක් හෙලි කරයි

ජාන විකරණය කළ බෝග කෙරෙහි ලොව පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් ඇත්තේ යම් සැක බිය මුසු හැඟීමක්. නමුත් මෑතකදී එළිදැක්වුනු පර්යේෂණ පත්‍රිකාවකින් කියවුනේ ජාන විකරණය කල බෝග පාරිසරික වශයෙනුත් ආර්ථික වශයෙනුත් හිතකර බවයි. වසර 21 ක් පුරා ස්පාඥ්ඥයේ සහ පෘතුගාලයේ සිදුකල බඩ ඉරිඟු වගාවන් ආශ්‍රිත දත්ත විශ්ලේෂණයන් ඇසුරිනුයි මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබුනේ.

ජාන විකරණය කළ බෝග මීට වසර ගනනකට පෙර විද්‍යා ක්ශේත්‍රයට අළුතින් එක් වූ යෙදුමක්. මෙමගින් අදහස් කෙරෙන්නේ කිසියම් කෘෂි බෝගයක හෝ සත්ත්ව විශේෂයක ස්වභාවික ජාන සංයුතිය වෙනස් කර නව හිතකර ලක්ෂණ සහිත ජීවීන් බවට පත්කර ඔවුන් කෘෂි නිශ්පාදන සඳහා යොදා ගැනීමයි. ජාන සංයුතිය වෙනස් කිරීම ලෙස අදහස් කරනු ලබන්නේ ස්වභාවිකව පවතින ජානයක් ඉවත් කිරීම හෝ වෙනත් ජීවියෙකු සතු ජානයක් අලුතින් එක් කිරීමයි. උදාහරණයක් ලෙස වී ශාකයට ඩැෆඩිල් ශාකයෙහි ඇති විටමින් A නිපදවීමට අදාල ජානය ඇතුළු කර සාදා ගත් රන් සහල් නැමති වී ප්‍රභේදය සැලකිය හැකියි. මෙහිදී අළුතින් හඳුන්වා දුන් ජානය මගින් සාමාන්‍යෙයන් වී ශාකය තුල දක්නට නැති හිතකර ලක්ෂණයක් එම ශාකයට ඇතුළු කිරීම සිදු කරනු ලබනවා.

සාමාන්‍ය සුදු සහල් සහ රන් සහල්. රන් සහල් වල කහ පැහැය ලබාදෙන්නේ විටමින් ඒ සහිත වර්ණක වලිනි. මෙම වර්ණකවලට අදාළ ජාන ඩැෆඩිල් ශාකයෙන් ලබාගෙන වී ශාකයට ඇතුල් කර තිබේ.

වසර ගනනාවක් තිස්සේ සිදු කළ පර්යේෂණ ඔස්සේ ලොව පුරා විද්‍යාඥයින් නොයෙකුත් නව ලක්ෂණ සහිත ජීවීන් එළි දැක්වීමට සමත්ව තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒවායින් සමහරක්.

  • මකුළුවන්ගේ දැල් නිශ්පාදනය කරන ජානය ඇතුල් කිරීමෙන් සාදා ගත්, කිරි සමඟ මකුළු දැල් වල ඇති ප්‍රෝටීනය නිපදවන එළුවන්
  • ජෛව සන්දීප්තිය පෙන්වන ඌරන් හා චිම්පන්සියන්
  • විශාල මස්/කිරි නිෂ්පාදනයක් ලබාදෙන ගව විශේෂ
  • කෘමි පළිබෝධකයින්ට ප්‍රතිරෝදී බඩ ඉරිඟු ප්‍රභේද
  • විවිධ නව වර්ණ සංකලණයන්ගෙත් යුත් විසිතුරු ශාක

GMO: ආසයි බයයි!

ඉහත සාකච්ඡා කළ පරිදි ලොව පුරා විවිධ පර්යේෂණ වලින් ජාන විකරණය කල ජීවීන් බිහිකලද ඒවා භාවිතය සම්බන්ධව විද්‍යාඥයන් අතරත් යම් යම් මත ගැටුම් පවතිනවා. ඒ අනුව ඇතැම් කණ්ඩායම් පවසන්නේ මෙම ජාන විකරණය කරන ලද ජීවීන් සෞඛ්‍යයට මෙන්ම පරිසරයටත් අහිතකර විය හැකි බවයි. එහෙත් මේ බව ඔප්පු කිරීමට මේවන තෙක් කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සමත්ව නැහැ. මෙම විරෝධතාවන් මෙසේ පවතිද්දී බොහෝ රටවල් සිය කෘශිකාර්මික නිශ්පාදන වල ප්‍රමාණාත්මක බවත් ගුණාත්මක බවත් ඉහල නැංවීම සඳහා මෙම ජාන විකරණය කරන ලද බෝග වගාවන්ට යොමුව තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ දැනට වගා කර ඇති බඩ ඉරිඟු, කැනෝලා, සෝයා ආදී බෝග වගාවන්ගේ නිශ්පාදන වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ මෙම ජාන විකරණය කරන ලද බෝග ඇසුරින් වීම විශේෂයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල් තවමත් මෙම ජාන විකරණය කරන ලද බෝග තම කෘශිකර්මාන්තය සඳහා වඩා කාර්යක්ෂම අයුරකින් යොදා ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඊට හේතුව ලෙස මෙම ජාන විකරණය කල බෝග කෙරෙහි ඇති භීතිකාව හඳුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සැලකිය යුතු කරුණ වන්නේ අප මෙම භෝග මෙම රටවල වගා නොකරත් පිටරට වලින් අප ගෙන්වන ආහාර බොහොමයක් මෙම ජාන විකරණය කරන ලද බෝග ආශ්‍රිතව නිපදවූ එවා වීමට වැඩි සම්භාවිතාවක් ඇති බවයි.

නවතම පර්යේෂණයක ප්‍රථිඵල

පසුගිය මැයි 10 වන දා GM Crops and Food පර්යේෂණ සඟරාවේ මෙම ජාන විකරණය කල භෝග වල භාවිතයේ වාසි අවාසි අලළා සිදුකරන ලද පර්යේෂණයක ප්‍රථිඵල පල කර තිබුනා. ග්‍රැහැම් බ්‍රෑක්ස් නම් ආර්ථාක විශ්ලේෂකයා විසින් වසර 21 ක් පුරාවට ජාන විකරණය කරන ලද බෝග වගාවන් ආශ්‍රිත දත්ත විශ්ලේෂණය කිරීම මගින් මෙම බෝග වගාවන් හී වාසි අවාසි විශ්ලේෂණය කර තිබුනා. මෙම විශ්ලේෂණයේදී වසර 21 ක් පුරා ස්පාඥ්ඥයේ සහ පෘතුගාලයේ හෙක්ටෙයාර මිලියන 1.65 ක වගා කර තිබූ, ජාන විකරණය කරන ලද ඉඩ ඉරිඟු වගාවන් අධ්‍යනයට ලක් කර තිබුනා. එම විශ්ලේෂණයේ ප්‍රථිඵල පහත පරිදි ලඝු කොට දැක්විය හැකියි.

  • 11.5% ක අස්වැන්නේ වර්ධනයක්
  • ගොවියෙකු වියදම් කරන සෑම පවුම් එකකටම පවුම් 4.95 ක අමතර ආදායමක්
  • කෘමිනාශක භාවිතය කි‍ලෝ ග්‍රෑම් 678000 කින් හෙවත් 37% කින් අඩුවී තිබුනා

ඉහත සෘජු බලපෑම් වලට අමතරව මෙම වගාවන්ගේ වක්‍ර බලපෑම් රැසක්ද මෙම පර්යේෂණ පත්‍රිකාව හරහා එළි දක්වා තිබුනා. ඒවා අතර පහත කරුණු වඩාත් වැදගත් වනවා.

  • කෘමිනාශක භාවිතය අඩුවීම නිසා පාරිසරික බලපෑම් දර්ශකයේ 21% ක වර්ධනය
  • විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතයේ අඩුව නිසා හරිතාගාර වායු විමෝචනයේද සැලකිය යුතු අඩු වීමක්
  • ජල භාවිතය අඩුවීම නිසා ස්වභාවික ජල ප්‍රභව ආරක්ෂා වීම

ඉහත ප්‍රථිපල දෙස බැලීමේදී මෙම ජාන විකරණය කල බෝග වගාවන් ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරිකවත් ඉතා හොඳ ප්‍රථිඵල පෙන්වා ඇති බව පැහැදිලි වනවා. මෙම වසර 21 පුරාවටම මෙම බෝග වගාවන් නිසා ඇතිවුන අහිතකර ප්‍රථිඵලයන් ගැන මෙම රටවල් වලින් වාර්ථා වී නොතිබීමත් විශේෂයි. විශේෂයෙන්ම මෙම ජාන විකරණය කල බෝගයනට එරෙහි වන්නන් පවසන්නේ මෙම බොග වල පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් නොදන්නා බැවින් ඒවා භාවිතය භයානක විය හැකි බවයි. එහෙත් මෙවැනි හානිකර බලපෑමක් ඇතිවන්නේ නම් මෙම වසර 21 ක කාලය තුල එම බලපෑම් නිරීක්ෂණය කල හැකි විය යුතුයි. නමුත මෙම තාමත් හඳුනාගෙන නැති අහිතකර බලපෑම් වලට වඩා කෘමිනාශක භාවිතය අඩුවීම වැනි පාරිසරික හා සෞඛ්‍යමය හිතකර සාධක ගැන වැඩි අවධානයක් හොමු කළ යුතු බව පෙනෙන්නට තිබේ.

මේ අතරම ශ්‍රී ලංකාව වැනි රටවල් වලට මෙම නව තාක්ෂණයන් අනුගමනය නොකිරීම නිසා පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ලබාගත හැකි වාසි රැසක් මඟහැරී යන බව පෙනෙන්නට තිබේ. එම නිසා අප රට තුලත් යම් පාලනයක් සහිතව ජාන විකරණය කල බෝග හඳුන්වා දීම මගින් දැනටත් සීමිත සම්පතක්ව පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත්, සේනා දළඹු උවදුර වැනි පළිබෝධ ආක්‍රමණයන්ට සාර්ථකව මුහුන දිය හැකි බෝග වගාවන් ස්ථාපිත කිරිමටත් හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි.

සම්පූර්ණ පර්යේෂණ වාර්ථාව මෙතනින් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.