Air Pollution

ලංකාවේ පරිසර දින තේමාව “වඩු මඩු තහනම් කරමු” ද?

සෑම වසරකම ජූනි මාසය පරිසර හිතකාමී ලෝවැසියන්ට ඉතා වැදගත් මාසයක් වන්නේ පරිසරය වෙනුවෙන් වෙන් වූ විෂේශිත අන්තරජාතික දින දෙකක්ම මේ මාසයේ මුල් සතියේම යෙදී තිබීමයි. ඒ ලෝක පරිසර දිනය (ජූනි 4 වනදා) සහ ලෝක සමුදුරු දිනය ( ජූනි 8 වනදා) යන අන්තර්ජාතික දිනයන් දෙකයි. ලොව පුරා රටවල් රැසක මෙම දින දෙක ඉතා උත්කර්ෂවත් ලෙස සැමරෙන්නේ ඉතා වැදගත් පණිවිඩ රැසක් එම රටවල ජනතාවට ලබා දෙමින්. මෙම සෑම දිනයකම විශේෂිත තේමාවක් එක්සත් ජාතීන්ගේ සංගමය මඟින් තීරණය කරනු ලබන අතර එම තේමාව මඟින් එම දිනයට අදාළ ඉතා වැදගත් මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ලබනවා. ඒ අනුව මෙවර ලෝක පරිසර දින තේමාව වූයේ “වායු දූෂණය පරදවමු” යන්නයි. එමෙන්ම ලෝක සමුදුරු දිනයේදී සමුද්‍රය ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් වල ලිංගික සමානාත්වය ගැන සාකච්ඡා වුනා. මෙම දින දෙකම ආශ්‍රිත විවිධ වැඩසටහන් ලංකාවේත් යම් පමණකට ක්‍රියාත්මක වූ නමුත් මෙම වැඩසටහන් වලින් අපේකෂිත ප්‍රතිඵල ලිංකිකයින් හට අපහට ලබාගත හැකිවූවාද යන්න අප හමුවේ ඇති ප්‍රධාන ගැටළුවක්.

වායු දූෂණය පරදා වඩුමඩුව ඉස්මතුවූ පරිසර දිනය!

මෙවර පරිසර දිනය ආශ්‍රිතව මුළු ලෝකයම අවධානය යොමු කලේ එහි තේමාව වූ “වායු දූශණය පරදවමු” යන්න කෙරෙහියි. නමුත් ලංකාවේ පරිසර දිනය දා මුළු ලංකාවම අවධානය යොමු කලේ පරිසර අමාත්‍යවරයා ලෙස රටේ ජනාධිපතිවරයා පරිසර දින උත්සවයේදී සිදුකළ කතාවේ සඳහන් වූ වඩුමඩු තහනම පිළිබඳවයි. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයටත් ඊට ඉන් පසුව එල්ලවූ විවිධ ප්‍රතිචාර වලටත් මාධ්‍යය සියල්ලෙහිම පාහේ වැඩි ඉඩක් වෙන්වෙද්දී පරිසර දිනයේ සැබෑ තේමාව හා එහි වැදගත්කම සඳහා මාධ්‍යයන් ගේ වැඩි අවධානයක් යොමුවු බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. විශේෂයෙන්ම මෙවැනි අන්තර්ජාතික දින සංවිධානය කර තිබෙන්නේ ලෝක වාසී ජනතාව ඔවුන් දැනට මුහුණපාන හෝ අනාගතයේදී ඇතිවිය හැකි යම් යම් අවධානම් තත්ත්වයන් පිළිබඳව දැනුවත් බවක් ලබාදීමටයි. නමුත් ලංකාවේ මෙවන් අවස්ථා වලදී ක්‍රියාකාරී විය යුතු බලධාරීන් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යය කිසිවක් මේ බවක් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැහැ. දැනට සිදුවන්නේ මෙවන් දිනයකදී කිසියම් දේශපාලනික ප්‍රතිරූපයක් නැංවීම සඳහා ඉතා විශාල වියදමක් දරා උත්සවයක් සංවිධානය කිරීම හා එම උත්සවයේදී යම් දේශපාලකයෙක් සිදුකල කිසිදු වැදගැම්මකට නැති ප්‍රකාශයකට විශාල ප්‍රචාරයක් මාධ්‍යය මඟින් ලබා දීමයි.

ඇත්තටම සිදු විය යුත්තේ කුමක්ද?

මෙවන් අන්තර්ජාතික දින ආශ්‍රිතව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මීට වඩා ක්‍රමවත් ආකාරයකට සංවිධානය කල යුතු අතර, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමෙනුත්, විශේෂයෙන්ම පාසැල් මට්ටමෙනුත් සිදුවිය යුතුය. දේශපාලඥයෙකුට කිවිසුමක් ගියත් රට පුරා තාප්ප, පුවරු වසාගෙන දියත් වන දැවැන්ත පොස්ටර් ව්‍යාපාර මෙවන් දිනවලදී වත් ජනතාවට වැදගත් යම් පණිවිඩයක් ලබා දීම වෙනුවෙන්ට දියත් කළ යුතුය. විශේෂයෙන්ම පාසැල් දරුවන් මෙම තේමාවන් පිළිබඳව දැනුවත් කිරීමට යම් ක්‍රමවත් වැඩපිළිවෙලක් අතිමහත් ප්‍රමුඛතාවකින් යුතුව සිදුකළ යුතුය. එමෙන්ම ප්‍රධාන ධාරාවේ ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය මෙම තේමාවන් පිළිබඳව වඩාත් ගැඹුරෙන් සාකච්ඡා කෙරෙන වැඩසටහන් හා ලිපි/පුවත් ජනතාව වෙතට ගෙනයාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එසේ නැතහොත් මේ සෑම දිනයක්ම අනාගතය වෙත ගොස් ආපසු හැරී බලද්දී අතීතයේදී අපට මඟ හැරුනු අවස්ථාවක් බවට පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.