Hubbel Space Telecope

විශ්වයේ අනන්තයට අප රැගෙන යන හබල් ඡායාරූපය

ඇමරිකාවේ නාසා ආයතනය විසින් 1990 දී පෘථිවය වටා කක්ෂ ගතකරවන ලද හබල් අභ්‍යවකාශ දුරේක්ෂය එදා සිට අද දක්වාම අප අවට අභ්‍යවකාශයේ ඉතාම වැදගත් ඡායාරූප රාශියක් ලොවට දායාද කිරීමට සමත්ව සිටිනවා. මෙම දුරේක්ෂය පෘථිවියෙන් පිටත ස්ථානගතකර ඇති නිසා වායුගෝලයේ බාධාවන්ගෙන් තොරව ඉතා ඉහල විභේදනයන්ගෙන් යුත් ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

හබල් දුරේක්ෂය වසර 16 ක් තිස්සේ ලබාගත් ඡායාරූප රැසක් එක්කොට සාදන ලද සුවිශේෂී ඡායාරූපයක් මාධය වෙතට නිකුත් කරන්නට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් මීට දින කිහිපයකට පෙර සමත් වුනා. මෙම ඡායාරූපයෙන් දැක්වුනේ අපගේ අහසේ එක් කුඩා ප්‍රදේශයක අති ගැඹුරු ක්ෂේත්‍ර දර්ශණයක්. මෙම ඡායාරූපයට නගා ඇති ප්‍රදේශය සාමාන්‍ය පුරසඳ ඇති දවසක සඳෙහි අපට පෙනෙන ප්‍රදේශය තරම් වර්ගඵලයකින් යුතු වනවා. ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූප වල විශේෂත්වය වන්නේ ඒවා මඟින් අභ්‍යවකාශයේ ඉතා ඇත කෙලවරවල ඇති ඉතාම දුර්වල ආලෝක සංඥා පවා ඉතා පැහැදිලි විභේදනයකින් යුතුව ලබා ගත හැකි වීමයි. ඒ අනුව මෙම ඡායාරූපයේ ඇති ඇතැම් මන්දාකිනි ආලොක වර්ශ බිලියන 13.3 ක පමණ දුරකින් පිහිටන ඒවා බව පැවසෙනවා. වෙනත් ආකාරයකින් කියනවා නම් මෙම ඡායාරූපයේ අප දකින ඇතැම් මන්දාකිනිවලින් මීට අවුරුදු බිලියන 13.3 කට පෙර පිටවූ ආලෝකයයි මෙසේ සටහන්ව ඇත්තේ. එනම් මේ මන්දාකිනී සත්‍ය වශයෙන්ම මීට අවුරුදු බිලියන 13.3 කට පෙර තිබූ තත්ත්වයයි අද අපි මේ ඡායාරූපය හරහා දකින්නේ.

හබල් දුරේක්ෂයේ ඡායාරූප ඇසුරින් ගොඩනැඟූ ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපය. මෙම ඡායාරූපයෙන් දැක්වෙන ප්‍රදේශය ආසන්න වශයෙන් පූර්ණ චන්ද්‍රයා අහසේ අයත් කරගන්නා ඉඩ හා සමාන වනවා. මෙහි මුල් පිටපත් පහත දැක්වෙන සබැඳිය හරහා බාගත කල හැකියි.
( View full resolution 20,791-by-19,201-pixel image at hubblesite.org )

අහසේ අංශක 30 ක වර්ගඵලයක්, මන්දාකිනි දෙලක්ෂ හැටපන්දහසක්!

මෙම ඡායාරූපයේ තවත් විශේෂත්වයක් වන්නේ අපේ විශ්වයේ විශාලත්වය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට මෙය උදව් වීමයි. අහසේ පුර්ණ චන්ද්‍රයා ලබාගන්නා ඉඩ ප්‍රමාණය හා සමාන කුඩා ඉඩක් පමණක් මේ ඡායාරූපයේ දැක්වුනත්, එහි අඩංගු වන මන්දාකිණි ප්‍රමාණය පමණක් දෙලක්ෂ හැටපන්දහසක් වනවා. මේ සෑම මන්දාකිණියක්ම අඩුම තාරකා බිලියන ගනනින් අඩංගුවන ඉතා විශාල පද්ධතීන්. ඉතින් මේ කුඩා ප්‍රදේශයේ පමණක් අඩංගු වෙතැයි අපේක්ෂා කල හැකි තාරකා පුමාණය නොගිනිය හැකි තරම් වනවා. ඒ අනුව අපගේ මුළු අහසම මේ අකාරයට නිරීක්ෂණය කලහොත් එහි අඩංගුවිය හැකි මන්දාකිණි ගණන ගැන ඔබට යම් අදහසක් ලබා ගත හැකිවනු ඇති. එක් මන්දාකිණියක ප්‍රමාණය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට පහත රූප සටහනෙහි දැක්වෙන අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත්වන ක්ෂීරපථ මන්දාකිණිය පිළිබඳ දත්ත ඔබට උපකාරී වනු ඇති.

ඡායාරූප 7500 ක එකතුවක්

නාසා විද්‍යාඥයින් මෙම සංකීර්ණ ඡායාරූපය ගොඩ නගා ඇත්තේ වසර 16 ක කාලයක් පුරා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් ලබාගත් ඡායාරූප 7500 එකතු කරමිනුයි. මෙම ඡායාරූපය ගැන අදහස් දක්වන නාසා විද්‍යාඥයින් පවසන්නේ මෙය අපගේ විශ්වයේ ඉතිහාසය වසර බිලියන 13 කට එහා කාලයක සිට අධ්‍යනය සඳහා වන කැඩපතක් වනු ඇති බවයි. එමෙන්ම මෙයට තවත් අති ගැඹුරු ක්ෂේත්‍ර නිරීක්ෂණ දත්ත එක් කරමින් මීටත් වඩා වැඩි විභේදනයකින් යුත් ඡායාරූප නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් නාසා ආයතනය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.