Ravana 1

රාවණා අභ්‍යවකාශයට!

ලොව එතෙක් මෙතෙක් බිහිවූ නව නිපැයුම් අතර මුළු ලොවම නවමු යුගයකට ගෙනගිය තාක්ෂණයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය හැඳින්විය හැකියි. ලෝකයේම ආදරය දිනාගත් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මහතා විසින් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ මූලික අදහස ලොවට ඉදිරිපත් කිරීමත් සමඟම රටවල් බොහොමයක් මෙම තාක්ෂණික සිහිනය යථාර්ථයක් කරගැනීමට වෙහෙසුනා, ඒ අනුව ලොව මුල්ම චන්ද්‍රිකාව ලෙස ස්පුට්නික් 1 චන්ද්‍රිකාව රුසියාව විසින් අභ්‍යවකාශ ගත කරන්නේ වර්ශ 1957 දී. එතැන් සිට ලොව රටවල් බොහොමයක් සිය තාක්ෂණික පර්යේෂණ වල ප්‍රථිපලයන් ලෙස චන්ද්‍රිකා තාක්ෂණයේ හිමිකරුවන් බවට පත්ව තිබෙනවා, උදාහරණයක් ලෙස අපගේ අසල්වැසි ඉන්දියාව මේ වනවිට චන්ද්‍රිකා 115 කට ආසන්න ප්‍රමාණයක් සිය රටේ නාමය යටතේ අභ්‍යවකාශ ගතකර තිබෙනවා.

ලංකාව පසුපසින්……

අනෙකුත් තාක්ෂණික අංශයන්හීදී මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය සැලකීමේදීද ශ්‍රී ලංකාව සිටින්නේ තරමක් පසුපසින්, ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව හා සමාන තත්ත්වයන්හී ඇති රටවල් චන්ද්‍රිකා තාක්ෂණයෙහි හිමිකරුවන් බවට පත්වෙද්දී ශ්‍රී ලංකාවට මෙම තාක්ෂණය සිහිනයක්වම පැවතුනා. නමුත් ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණ සිහිනය යථාර්ථයක් කරමින් අප රටේ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස රාවණා 1 නැමැති නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ ජපානයේ කියුෂු සරසවියේදී ශ්‍රී ලාංකික පර්යේෂක දෙපලක් වන දුලානි චාමිකා හා තරිදු දයාරත්න ගේ දායකත්වයෙන්. ජපානයේ කියුෂු සරසවියේ කියුටෙක් නැමති තාක්ෂණික පර්යේෂණ අංශය විසින් පවත්වාගෙන යන් ලබන BIRDS නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේයි මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබුවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ චන්ද්‍රිකාවට අමතරව නේපාලය හා ජපානය වෙනුවෙන් නිපදවූ නැනෝ චන්ද්‍රිකා දෙකකුත් මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලැබූවා. මෙම වන්ද්‍රිකාවල නිර්මාණ කටයුතු පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වූ අතර ඒවා ඉන් අනතුරුව ජපාන ගුවන් හා අභ්‍යවකාශ ගවේශණ ඒජන්සිය වෙත බාරදෙනු ලැබූයේ ඉදිරි වැඩකටයුතු සඳහායි. ඒ අනුව මෙම චන්ද්‍රිකා ත්‍රිත්වය 18 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇමරිකානු ඇන්ටාරෙස් රොකට්ටුවක් අධාරයෙන් අභ්‍යවකාශගත කෙරෙන සිග්නස් අභ්‍යවකාශ යානය මඟින් ප්‍රවාහනය කෙරෙනු ඇති.

cygnus
ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව රාවණා 1 ඇතුළු නැනෝ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගතකිරීම සඳහා රැගෙන යන ඇන්ටාරෙස් රොකට්ටුව අභ්‍යවකාශගතකිරීම සඳහා සූදානම් කෙරෙමින්.
 Photo Credit: (NASA/Bill Ingalls)

අනතුරුව මෙම නැනෝ චන්ද්‍රිකා ත්‍රිත්වය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශය වෙත මුදා හැරෙනු ඇති.

ඇන්ටාරෙස් රොකට්ටුව ගුවන් ගතවන ආකාරය ඔබට පහත සබැඳිය හරහා සජීවීව නැරඹිය හැකියි.

https://www.nasa.gov/multimedia/nasatv/index.html#public

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.