Cube Sat LAunch

අභ්‍යවකාශ තාක්ෂණයේ මෙගා වෙනසක් ඇතිකල නැනෝ චන්ද්‍රිකා

මීට දින කිහිපයකට ඉහත ශ්‍රි ලංකාවේ මාධ්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවේ නාමය යටතේ අභ්‍යවකාශ ගතකිරීමට නියමිත චන්ද්‍රිකාවක් ගැන වාර්ථා කලා.
දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන ශ්‍රී ලාංකික පර්යේෂකයින් දෙදෙනා මේ චන්ද්‍රිකාව ආශ්‍රිත වැඩකටයුුතු වල යෙදී සිටින්නේ ජපානයේ ක්‍යුෂු සරසවියේ සිටයි. මොවුන් නිපදවන මෙම චන්ද්‍රිකාව වර්ෂ 2020 දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂ ගතකරනු ඇති.

ලංකාවේ නාමය යටතේ අභ්‍යවකාශ ගත කෙරෙන මෙම පළමු චන්ද්‍රිකාව අයත් වන්නේ නැනෝ චන්ද්‍රිකා ගණයටයි.

නැනෝ චන්ද්‍රිකා?

වර්ෂ 1957 දී රුසියාව විසින් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමත් සමඟම ඇරඹුන චන්ද්‍රිකා තාක්ෂණය එතැන් සිට නොයෙකුත් අංශයන් ඔස්සේ වැඩිදියුණු වුනා. මෙම චන්ද්‍රිකා තාක්ෂණ දියුණුවේ එක් ප්‍රධාන හරවුම් ලක්ෂයක් ලෙස වර්ෂ 2013 දී ඇමරිකානු සමාගමක් විසින් කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා 29ක් එක්වර එකම රොකට්ටුවක් භාවිතා කරමින් අභ්‍යවකාශ ගතකිරීම හැඳින්විය හැක. ඊට දිනකට පසු රුසියාව විසින්ද එවන් වු චන්ද්‍රිකාවන් 32ක් එකවර ගුවන් කලා.

නැනෝ චන්ද්‍රිකාවක් කියන්නේ ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වුනත් සෑම කුඩා චන්ද්‍රිකාවක්ම නැනෝ චන්ද්‍රිකාවක් වෙන්නේ නැහැ. පහතින් තියෙන්නේ දැනට පිළිගන්න විදිහට චන්ද්‍රිකා ඒවායේ ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන ආකාරයයි.

  • මිනි චන්ද්‍රිකා / Minisatellites – කිලෝ ග්‍රෑම් 100 සිට 500 දක්වා ස්කන්ධයක් සහිත චන්ද්‍රිකා
  • මයික්‍රො චන්ද්‍රිකා / Microsatellites – කිලෝ ග්‍රෑම් 10 සිට 100 දක්වා ස්කන්ධයක් සහිත චන්ද්‍රිකා
  • නැනෝ චන්ද්‍රිකා / Nanosatellites – කිලෝ ග්‍රෑම් 1 සිට 10 දක්වා ස්කන්ධයක් සහිත චන්ද්‍රිකා
  • පිකෝ චන්ද්‍රිකා / Picosatellites – ග්‍රෑම් 100 සිට කිලෝ ග්‍රෑම් 1 දක්වා ස්කන්ධයක් සහිත චන්ද්‍රිකා
  • ෆෙම්ටො චන්ද්‍රිකා / Femtosatellites – ග්‍රෑම් 100 ට වඩා අඩු ස්කන්ධයක් සහිත චන්ද්‍රිකා

වර්ශ 1990 දී ඇමරිකාවේ කැලිෆෝනියාහි කැල් පොලි ලෙස හැඳින්වෙන් බහු තාක්ෂණ සරසවියත් ස්ටැන්ෆර්ඩ් සරසවියත් එක්වී නැනෝ චන්ද්‍රිකාවන් සඳහා පිළිගත් ප්‍රමිතියක් හඳුන්වා දෙනවා. මෙය හඳුන්වනු ලබන්නේ කියුබ් සැට් ප්‍රමිතිය(Cube Sat standard) ලෙසයි.

කියුබ් සැට් ඒකක එකක් සහ ඒවා එකතු කර සාදන විවිධ ප්‍රමාණයේ නැනෝ චන්ද්‍රිකා (Image – https://alen.space)

මෙම ප්‍රමිතියට අනුව නැනෝ චන්ද්‍රිකා වන් ඝණක හැඩැති සෙන්ටි මීටර් 10x10x10 ප්‍රමාණයේ ඒකක(Units) වලින් සමන්විත විය යුතුය. ඒ අනුව මෙම ඒකක එකක් හෝ වැඩි සංඛ්‍යාවක් එකට එකතු කිරීමෙන් අවශ්‍ය පරිදි නැනෝ චන්ද්‍රිකාවන් නිපදවිය හැකියි.

නැනෝ චන්ද්‍රිකාවල වාසි

අඩු වියදම!

නැනෝ චන්ද්‍රිකා තාක්ෂණයේ ආගමනයත් සමඟ ලොව බොහෝ රටවල් මෙන්ම ආයතනද මෙම තාක්ෂණය වෙත හැරුනේ එහි ප්‍රධානතම වාසිය වන අඩු වියදම සලකා බලමිනි. මෙම චන්ද්‍රිකා ප්‍රමාණයෙන් කුඩා වන නිසා ඒවා නිෂ්පාදනයත්, අභ්‍යවකාශ ගත කිරීමත් අනෙකුත් සාමාන්‍ය ප්‍රමාණයේ චන්ද්‍රිකාවන්ට වඩා ඉතාමත් අඩු වියදමිකින් සිදු කල හැකියි. සාමාන්න්‍ය චන්ද්‍රිකාවක් නිපදවීමට සහ අභ්‍යවකාශ ගත කිරීමට වැයවන්නේ යුරෝ ලක්ෂ 5 ක පමණ මුදලක්. සාමාන්‍ය චන්ද්‍රිකාවකදී ඒ අගය යුරෝ මිලියන 500 ක් පමණ විය හැකියි.

කාලය!

චන්ද්‍රිකාවක් නිපදවීමටත් අභ්‍යවකාශ ගත කිරීමටත් වර්ශ 5 සිට 15 ක් පමණ ගතවුවත්, මෙම නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කර අභ්‍යවකාශ ගත කිරීමට වැය වන්නේ මාස 8 ක පමණ කාලයක්.

නැනෝ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීම

සාමාන්‍යෙයන් නැනෝ චනද්‍රිකා ගුවන් ගත කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරනවා.

  • වෙනත් නැනෝ චන්ද්‍රිකා හෝ සාමාන්‍ය ප්‍රමාණයේ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරන රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශය වෙත යැවීම.
  • භාණ්ඩ රැගෙන යන යානාවක මෙම චන්ද්‍රිකා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධයස්ථානය වෙත යවා එහි සිට කක්ෂ ගත කිරීම.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නැනෝ චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා මුදා හැරෙන අවස්ථාවක්

මෙම නැනෝ චන්ද්‍රිකාවන් බොහෝ විට පෘථිවියේ පහල කක්ෂ වල රඳවනු ලබනවා. එනම් පෘථිවියේ සිට කිලෝ මීටර 400 ත් 650ත් අතර දුරකයි. ඒ අනුව මෙම චන්ද්‍රිකාවක් තත්පරයකට කිලෝ මීටර 8 ක පමණ වේගයකින් පෘථිවිය වටා ගමන් කරන අතර පෘථිවිය වටා එක් වටයක් විනාඩි 90 කදී සම්පූර්ණ කරනවා.

නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගතහොත් මෙම නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටවල් වලට ලබා ගත හැකි මෙහෙයයන් අප්‍රමාණ වනු ඇත. අවශ්‍ය වන්නේ දැනුම හා සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගැනීම පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.