රෑ අහස

උදෑසන අහසේ ග්‍රහ නර්තනයන්

මේ දවස්වල උදෑසන අවදිවන ඔබට නැගෙනහිර අහසේ දක්නට ලැබෙන දීප්තිමත් තාරුකාවන් මඟහැරෙන්නට විදිහක් නැහැ. ඇත්තටම මේ නැගෙනහිර අහසේ මේදිනවල වඩාත් දීප්තිමත්ව දකින්නට ලැබෙන්නේ තාරුකාවන් නොව බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝක දෙකයි.

උදෑසන 5 පමණ වනවිට මේ ග්‍රහලෝක දෙක ඉතා දීප්තිමත්ව නැගෙනහිර අහසේ මඳක් ඉහලට වෙන්නට පිහිටා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම ග්‍රහලෝක දෙකම මේ දවස්වල පිහිටන්නේ අහසේ අපිට ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් වෘශ්චික රාශියට අයත් කලාපය තුලයි. මේ නිසාම ඔබට ඉතාම ලේසියෙන් වෘශ්චික රාශිය අඳුනගන්නත් මේ ග්‍රහලෝක දෙක උදව් වෙවි. පහුගිය දවස්වල සිකුරු ග්‍රහයා තමන් නැගෙන හිර අහසේ ගමන් කරන උපරිම උසට පැමිණ සිටිනු නිරීක්ෂණය කරන්න පුළුවන් වුනා. මේ නිසා මේ දිනවල සිකුරු නැවතත් ක්‍රමයෙන් හිරු සිටින දිශාවට ගමන් කරමිනුයි ඉන්නේ. නමුත් බ්‍රහස්පති අහසේ තවදුරටත් බටහිර දෙසටයි ගමන් කරන්නේ. මේ නිසා ඉදිරි දිනවලදී බ්‍රහස්පති හා සිකුරු ක්‍රමයෙන් එකිනෙකාගෙන් වෙන්වී ගමන් කරනු දැකිය හැකියි. මෙම ගහලෝක දෙක අතරින් තරමක් දීප්තියෙන් අඩු බ්‍රහස්පති ග්‍රහයාගේ සිට මඳක් දකුණු අත පැත්තට වෙන්නට තරමක් රතු පැහැයට හුරු වර්ණයක් සහිත තරුවකුත් මේ දිනවලදී ඔබට බලාගන්න පුළුවන්. මේ තාරකාව තමයි වෘශ්චික තරු රටාවේ ගෝනුස්සාගේ උරස නියෝජනය කරන තරු වලින් එකක් වන ඇන්ටාරෙස් තාරකාව. මේ තරුව තමන්ගේ ජීවන චක්‍රෙය් අවසාන කාලය ගෙවා දමමින් රතු යෝධ අවස්ථාවට එළඹ ඇති තාරුකාවක් බවයි විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ. මේ තරු තුන අතරින් ඉදිරි දිනවලදී තවත් චමත්කාරජනක දර්ෂණයක් මවමින් අපේ චන්ද්‍රයාත් ගමන් කිරීමට නියමිතයි. ඒ අනුව ජනවාරි 31 උදෑසන ටිකක් කලින් නැගිට්ටොත් මේ දර්ශණය නැරඹීමට ඔබටත් පුළුවන්.

ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා උදෑසන නැගෙන හිර අහසේ සිතියම.

ඒ එක්කම ඔබ හොඳින් බැළුවොත් මේ ගෝනුස්සාගේ වල්ගයේ සිට අහසේ උතුරු දෙසට දිවෙන ළා සුදු පැහැයක් ගන්නා වළාකුළු සමුහයක් වැනි යමක් නිරීක්ෂණය කරන්නත් ඔබට හැකිවේවි. ඇත්තටම මේ වළාකුළු නෙවෙයි. අපි ජීවත්වෙන මන්දාකිණිය එහෙමත් නැත්නම් ක්ෂීරපථයේ කොටසක් තමයි මේ විදිහට අපිට දර්ෂණය වෙන්නේ. නමුත් හඳේ ආලෝකයත් එක්ක මේ ක්ෂිරපථය නිරීක්ෂණය නම් ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්.

නැගෙනහිර අහසේ පහලට වෙන්නට පරිස්සමින් බැළුවොත් සෙනසුරු ග්‍රහලෝකයත් බලාගන්න ඔබ පුළුවන්.

රාත්‍රී අහසේ තාරුකාවන් අතරින් ගමන් කරන විවිධ ග්‍රහ වස්තූන් නිරීක්ෂණය ඉතාම හොඳ විනෝදාංශයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. ඔබත් මේ ග්‍රහ වස්තූන් ගැන හොඳින් ඉගෙනගෙන අහස නිරීක්ෂණය කරන්න පටන් ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.