Fall Army Warm

සේනා දළඹුවා ගැන කවුරුත් අහන ප්‍රශ්ණ 10ක්

1. කවුද මේ සේනා දළඹුවා කියන්නේ? – සේනා දළඹුවා කියල කියන්නේ සන්ධිපාදිකයින් එහෙමත් නැත්නම් ආත්‍රොපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් Spodoptera frugiperda නම් සලබයෙකුගේ කීට අවස්ථාවයි. මේ සළඹයාගේ විශේෂත්වයක් වන්නේ මොවුන් එක් වරකට බිත්තර 100 සිට 1000 දක්වා ප්‍රමාණයක් දැමීමයි. එමෙන්ම මෙම සළඹයා එක් රාත්‍රියකදී කිලෝමීටර් 100 කට ආසන්න දුරක් පියෑඹීමට සමත්කම් දක්වන බවත් කියැවෙනවා. එමෙන්ම මෙම සළඹයාගේ කීට අවස්ථාව වී, තිරිඟු හා බඩඉරිඟු වැනි බෝග වර්ග 80 කට අධික සංඛ්යාවකට හානිකරන බව ලෝක ආහාර සහ කෘෂිකර්ම ආයතනය පවසනවා. මෙම බෝග අතුරිනුත් මෙම දළඹුවා වඩාත් ප්‍රිය කරන්නේ බඩ ඉරිඟු ශාකයටයි. මෙම සලබයාගේ සම්පූර්ණ ජීවන චක්‍රය දින 25 -30 ත් අතර වේ. සුහුඹුලා දමන බිත්තර දින 3 කදී පමණ පුපුරා කීට අවස්ථාව වන සේනා දළඹුවා බිහිවනවා. මෙම කීට අවස්ථාව ශාකයේ කොටස් කා දමමින් දින 12 ක් පමණ වර්ධනය වනවා. මෙහිදී ඔවුන් සිහින් මකුළු දැල් වැනි කෙඳිති භාවිතා කරමින් වෙනත් ශාක වෙත ගමන් කිරීමටද සමත් කම් දක්වනවා. දිවා කාලයේදී ශාකයේ ගොබය ආශ්‍රිතව සැඟව ගතකරන මෙම දළඹුවා වඩාත් සක්‍රිය වන්නේ රාත්‍රී කාලයේදියි. මෙම දළඹුවාගේ ආහාර රටාව අනුව ඉතා කෙටි කාලයකදී ශාකයකට ඉතා දරුණු හානියක් කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම මෙම දළඹුවා වැඩුනු බඩඉරිඟු ශාකවල බඩ ඉරිඟු කරල් ආශ්‍රිතව පවා ජීවත්වන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්.

සේනා දළඹුවාගේ වර්ධනයේ අවස්ථා දෙකක්

2. මේ දළඹුවා ඉන්නෙ ලංකාවේ විතරද? – නැහැ, මොවුන් උතුරු හා මධ්‍යම ඇමරිකාවේ ස්වභාවිකව හමුවන මේ විශේෂය වර්ශ 2016 දී බටහිර හා මධ්‍යම අප්‍රිකාණු රටවල් වලින් හමුවනවා, එතැන් සිට 2018 වන විට මුළු අප්‍රිකාණු මහද්වීපයම පාහේ මෙම දළඹු ආක්‍රමණයට ලක්වන්නේ දැඩි ආර්ථිකමය හානි ගෙනඑමින්. පසුව ලොව පුරා වෙනත් රටවත් මෙම ආක්‍රමණය හමුවන අතර අපේ අසල්වැසි ඉන්දියාවෙන් මෙය වාර්ථා වන්නේ පසුගිය වසරේ මැයි මාසයේදී, ඒ කර්ණාටක ප්‍රාන්තයෙන්, නමුත් වර්තමානය වනවිට මෙම උවදුර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ව්‍යාප්තවී අවසන්.

සේනා දළඹුවාගේ ජීවන චක්‍රය – දින 1-3 – සුහුඹුල් සළඹයා බිත්තර ශාක පතු වල යටි පැත්තේ තැන්පත් කරයි, / දින 3-6 – බිත්තර පුපුරා ලපටි කීටයන් එළියට පැමිණේ, මුලින් ශාක පත්‍ර වල යටිපැත්ත පමනක් සූරා කන මොවුන් පසුව මුළු ශාක පත්‍රයම ආහාරයට ගනිති. / දින 6-14 – වඩාත් වර්ධනය වූ දළඹුවන් ශාකයේ දල්ල ඇතුලට ගොස් ඇතුලතින් එය කා දැමීමට පටන් ගනියි. / දින 15 – සම්පූර්ණයෙන් වැඩුන දළඹුවා පස මතට වැටී සෙන්ටි මීටර 2-8 අතර දුරක් පස තුලට හාරාගෙන ගොස් පිළා අවස්ථාවට එළඹේ. / දින 16 -24 – පිළා අවස්ථාව ලෙස පස තුල ගත කරයි. / දින 25-30 – සුහුඹුල් සළඹයා බිහිවේ

3. මෙයාලාව ලංකාවට කවුරු හරි ගෙනත් දැම්මද? – ඒක වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථා ඉතාම අඩුයි, මොවුන්ගේ ජීවන ස්වභාවය නිරීක්ෂණය කිරීමේදී දිනකදී කිලෝමීටර 100 කට වැඩි දුරක් පියඹා යා හැකි නිසා ඔවුන්ට පහසුවෙන්ම ඉන්දියාවේ සිට ලංකාවට පැමිණිය හැකියි. පසුගිය කාලයේ තිබුණු නිරිතදිග මෝසම් සුළඟත් මේ සඳහා උදව් වුනා වෙන්න පුළුවන්

4. මේ උවදුර පාලනය කරන එක මේ තරම් අමාරු ඇයි ? මේකට ප්‍රධානතම හේතු කිහිපයක් තියෙනවා, මොවුන් ලංකාවට ආගන්තුක සත්ත්වයින්, ඒ නිසා මොවුන් ආහාරයට ගන්නා ස්වභාවික සතුරු සතුන් මේ පරිසරවල හමුවන්නේ නැහැ, ඒ නිසා මොවුන්ට ඉතා පහසුවෙන් බෝවිමේ ඉඩ ප්‍රස්ථා තියෙනවා. ඒ එක්කම මොවුන් බිත්තර දැමීමේදී එක් වරකට විශාල බිත්තර පුමාණයක් දැමීම නිසා විශාල දළඹු ප්‍රමාණයක් එක්වර බිහිවීමත් මොවුන් විනාශ කිරීම අපහසු වීමට හේතුවක්. ඒ වගේම මේ දළඹුවාගේ සුහුඹුල් සළඹයා එක් රැයකදී කිලෝමීටර 100 කට වඩා වැඩි දුරක් පියෑඹීමට සමත්කම් දක්වන නිසා මොවුන් පැතිරීම පාලනය කරීම ඉතා අපහසු වී තිබෙනවා

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භොග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දැනට සිදුවන සේනා දළඹුවා ආශ්‍රිත පර්යේෂණ පිළිබඳව නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කෘෂි හා වන විද්‍යා අංශයේ සාමාජිකයින්.

5. එතකොට රසායනික පාලන ක්‍රම මේ දළඹුවා විනාශ කිරීමට භාවිතා කරන්න බැරිද? මේ සත්ත්වයාගේ ජීවන චක්‍රය දින 25 කට පමණ සීමාවන කෙටි ජීවන චක්‍රයක්, එමෙන්ම බිත්තර අවස්ථාවේදී බිත්තර වටා ඇති ඝණ කොරපොතු වැනි ආරක්ෂිත ස්ථරය නිසා බිත්තර අවස්ථාවේදී රසායනික ද්‍රව්‍ය මගින් ඒවා විනාශ වන්නේ නැහැ. එමෙන්ම මොවුන් රසායනික ද්‍රව්‍ය යොදා පාලනය කරීමට නම් ඉතා කෙටි කාල ප්‍රාන්තර සහිතව රසායනික ද්‍රව්‍ය යෙදීම කල යුතුයි. එසේම කාබොෆියුරාන් (කවුරුත් දන්න පරිදි කුරේටර්) වැනි අධි සැර සංස්ථානික කෘමිනාශක භාවිතා කර මෙම හානිය පහසුවෙන් පාලනය කල හැකි වුවත් එවැනි අධිසැර කෘමිනාශක භාවිතය මෙම භෝග භාවිතා කරන අපට මෙන්ම අනෙකුත් සතුන්ටත් හානිදායී විය හැකියි.

6. එතකොට ෆෙරමෝන් උගුල්? ෆෙරමෝන් උගුල් කියල කියන්නේ මේ සතුන්ගේ සුහුඹුල් ගැහැනු සතුන් ඔවුන්ගේ පිරිමි සතුන් ආකර්ෂණය කිරීම සඳහා යොදා ගන්නා රසායනිකයක්. මේ රසායනිකයන් කෘතීමව නිපදවා විශේෂයෙන් නිපදවූ උගුල් භාවිතා කිරීම මගින් සේනා දළඹුවා පැතිරී ඇති ක්ෂේත්‍රයක සිටින පිරිමි සතුන් ආකර්ෂණය කොට විනාශ කිරීම සිදු කල හැකියි. දැනට මහඉලුප්පල්ලම ක්ෂේතු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් මෙම සේනා දළඹුවා සඳහා යොදා ගත හැකි ෆෙරමෝන උගුල් වර්ග දෙකක් පිළීබඳ පර්යේෂණ කරමින් සිටිනවා. මේ ෆෙරමෝන උගුල් දෙකම සඳහා යොදා ගන්නේ SPOFRU ලෙස හැඳින්වෙන වෙළඳපොලේ දැනට ඇති ෆෙරමොන් සංකලනයක්. ඒ එක්කම පහතින් දැක්වෙන්නේ දැනට මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භොග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අත්හදා බැලෙන ෆෙරමොන උගුල් දෙකයි.

ද්‍රව ෆෙරමොන උගුල
ගම් හෝ ග්‍රීස් වැනි ඇලෙන සුළු ද්‍රව්‍යයක් භාවිතා වන ෆෙරමෝන උගුල. මෙහි මැද ඇති විශේෂිත ව්‍යුහයකට අදාළ ෆෙරමෝන සහිත කොටස ඇතුළු කරනු ලබයි.
සේනා දළඹුවාගේ සුහුඹුල් පිරිමි සතුන් ආකර්ෂණය කිරීමට යොදා ගන්නා වෙළඳපොලේ ඇති ෆෙරමෝන වර්ගයක්.

7. වෙනත් රටවල මේ හානිය පාලනයට මොනවද කරල තියෙන්නේ? – මේ හානිය දැනට ඉතාමත් වැඩි වශයෙන් දක්නට ලැබෙන අප්‍රිකානු රටවල සහ ඇමරිකාවේ පවා මෙම හානියට ස්ථිර විසඳුමක් සොයාගැනීමට අපහසුව තිබෙනවා. ඇමරිකාවේ සහ දකුණු අප්‍රිකාවේ මේ සඳහා ජාන විකරණය කල බඩ ඉරිඟු වගාව ආදේශ කර තිබුනද, ඇමරිකාවේ යම් ප්‍රෙද්ශවලින් මෙම බඩ ඉරිඟු ප්‍රභේදයන්ට ප්‍රතිරෝධි සේනා දළඹුවන්ද හමුවී ඇති බව ලෝක ආහාර හා කෘෂි සංවිධානය පවසනවා

8. වී වගාවටත් මේ දළඹුවා හානි කරයිද? – දැනට දක්නට ඇති තත්ත්වයන්ට අනුව ඇතැම් ප්‍රදේශ වල කුඹුරු ආශ්‍රිතව සේනා දළඹුවා හමුවී තිබුනත් කුඹුරු ආශ්‍රිත වී වගාවට සේනා දළඹුවාගෙන් වන හානිය ඉතා අල්ප විය හැකියි. ඊට හේතුව මෙම කෘමියාගේ පිළා අවස්ථාව පසේ ගත කරන බැවින් කුඹුරු ආශ්‍රිත ජලය නිසා පිළා අවස්ථාවේදී ඔවුන් විනාශ වී යාමයි

9. ලංකාවේ කෘශිකර්මාන්තය හා සම්බන්ධ ආයතන මේ සම්බන්ධව මුකුත්ම කරන්නෙ නැද්ද? දැනට ලංකාවේ කෘශිකර්මය හා සම්බන්ධ පර්යේෂණායතන හැම එකක්ම පාහේ මේ සම්බන්ධව පර්යේෂණ කරමින් සිටිනවා. නමුත් මේ සැම පර්යේෂණයක්ම යම් විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ සිදුවන නිසා ක්ෂණිකව ඒවායේ ප්‍රථිපල සමාජගත කිරීමේ හැකියාවක් නැහැ. අදාළ පර්යේෂණ ක්‍රියාවලීන්ගේ අවසානයත් සමඟම මෙම පර්යේෂණවල ප්‍රථිඵල සමාජගත කෙරෙනු ඇති. සමාජයේ නොයෙක් තරාතිරම් වල පුද්ගලයින් සේනා දළඹුවා මර්ධණය සඳහා නොයෙකුත් ක්‍රම සමාජ මාධයයන් හා ප්‍රධානධොරාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළද ඒවා නිසි ක්‍රමවේදයක් හා නිසි පර්යේෂණ වලින් තොරව සමාජගත කිරීම ඇතැම් විට හානිදායී ප්‍රථිපල ගෙන දෙන්න පුළුවන්.

10. එතකොට දැනට මේ ආපදාවට ලක්වෙලා ඉන්න ගොවි මහත්වරුන්ට මේ හානිය අඩු කරගන්න කරන්න පුළුවන් මොනවාද? මේ සඳහා යෝජනා කිහිපයක් ලෝක ආහාර හා කෘෂීකර්ම ආයතනය යෝජනා කරනවා. ඒවා නම් –

  • ක්ෂේත්‍රයේ තනි තනිව කුඩා බිම් කඩවල් වල වගාවන් ආරම්භ නොකර මුළු යායම එකම අවස්ථාවක වගා කිරීම.
  • භෝග විවිධත්වය වැඩි කිරීම- මේ සඳහා බඩ ඉරිඟු පැල අතර මඤ්ඤොක්කා වැනි භෝග වගා කරන්න පුළුවන්
  • ඔබේ වගාවට දැනට මේ ආක්‍රමණය සිදුව නැත්නම් ඒ පිළිබඳව අවධානයෙන් සිට දළඹුවන් මතුවන මුල් අවස්ථාවේදීම දළඹුවන් හා බිත්තර විනාශ කර දැමීම.
  • ශාක මතට සීනි ද්‍රාවණයක් ඉසීම – මෙමගින් ශාක වෙතට කුහුඹුවන් ආකර්ශණය වන අතර ඔවුන් ඇතැම්විට මෙම දළඹුවන් හා බිත්තර ආහාරයට ගෙන ඒවා විනාශ කිරීමට උදව්වේ.
  • ශාක මතට අළු, සිහින් වැලි හෝ පස් ඉසීම – මෙමගින් යම් පමනකට දළඹු හානිය අඩු කරගත හැක.
  • ශෘකමය කෘමි විකර්ශක භාවිතය – කොහොඹ යුෂ/තෙල්, දාස්පෙතියා මල් හා පත්‍ර යුෂ …….
මහඉලුප්පල්ලම කේෂ්ත්‍ර භොග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය ආයතනය මගින් දැනට සිදුකරගෙන යනු ලබන පර්යේෂණ පිළිබඳව අප දැනුවත් කළාය.

මෙම ලිපිය සැකසීමේදී මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භොග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මියගේ දායකත්වය ලැබුන අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකන් සයන්ටිස්ට් අප කණ්ඩායම ඇයට ඇයට හදපිරි ස්තූතිය පුදකර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.