Earth Star

වැල්ලවායේ බෝධියකින් මතුවුන අබිරහස් නෙළුම් මල්!

පහතින් දැක්වෙන්නේ එක්තරා මාධ්‍යනාළිකාවක් විසින් පසුගියදා විකාශණය කරන ලද ප්‍රවෘතියක්. මෙයින් කියවුනේ වැල්ලවාය ප්‍රදේශයේ එක්තරා බෝධියක් ආශ්‍රිතව නෙළුම් මල් හැඩැති මල් විශේෂයක් හටගෙන ඇති ආකාරයයි.  ප්‍රදේශයේ මෙම සිද්ධිය සැලවීමත් සමඟම විශාල පිරිසක් මෙය දැක බලාගැනීමට පැමිණෙන බවත් එම ප්‍රවෘතියේ දක්නට ලැබුනා. අදාල වීඩියෝවට අනුව මෙම “මල්“ විශේෂය අන් කිසිවක් නොව දිරායන ශාක කොටස් ආශ්‍රිතව හටගන්නා බිම්මල් විශේෂයක් ලෙසට ඉතා පහසුවෙන් හඳුනා ගත හැකියි.

මෙම බිම්මල් විශේෂය Astraeus hygrometricus හෝ Myriostoma coliforme ලෙස හැඳින්වෙන බිම්මල් විශේෂයන්ගෙන් එකක් හෝ ඒ හා සමාන වෙනත් බිම්මල් විශේෂයක් විය හැකි බවයි වැඩිදුර අධ්‍යනයේදී අපට සොයාගත හැකි වුනේ. මේ දිලීර වලින් ඇතැම් ඒවා සල්, පයින් වැනි ශාක මුල් ආශිතව සහජීවීව වාසය කරන දිලීරයන් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය හඳුන්වා දෙනවා.

Earth Start
භූ තාරකා (Earth Star) ලෙස හැඳින්වෙන මෙම බිම්මල් විශේෂය පරිණත වූ පසු නෙළුම් මලක හැඩයට සමාන හැඩයක් ගන්නවා.

මෙම බිම්මල් විශේෂය සුවිශේෂී ජලාකර්ෂක හැකියාවකින්ද යුක්ත වන අතර ඉහල ආර්ද්‍රතාව සහිත කාලවලදී මලක් ලෙස විවෘත වන අතරම වියලි කාලයේදී නැවත හැකිලෙන ස්වභාවයක් පෙන්වන බවද දැක්වෙනවා. එමෙන්ම මෙම බිම්මලෙහි මැද ඇති ගෝලාකාර බීජාණුධානිය මතට වැහි බිඳු වැටෙන විට එතුළ ඇති බීජාණු ඉතා සියුම් දුමක් ලෙස පිටතට පැමිණෙනවා.

ලංකාවේ විද්‍යා මාධ්‍යකරණයේ අඩුව

මෙම ප්‍රවෘතිය ලංකාවේ මාධ්‍ය ජාලාවන් අතර විද්‍යාත්මක මාධ්‍යකරණයේ අඩුව ඉතා හොඳින් විදහා පෙන්වන අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මේ හා සමානම පවෘතීන් රැසක් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මහජනතාව අතර සංසරණය වන අයුරු පසුගිය කාලයේදී අපට දකින්නට ලැබුනා, ඒ අතර අඟහරු මත ගඩොල් සොයාගත් සංසිද්ධිය, කුරුණෑගල ප්‍රෙද්ශයේ වෙල් යායකට වළාකුළක් පතිතවු සංසිද්ධිය, තාපස කකුළුවෙක් අළුත් සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වා දීම වැනි ප්‍රවෘතීන් හඳුන්වා දිය හැකියි. කිසියම් ප්‍රවෘතියක් වාර්ථා කිරීමේදී ඒ හා සම්බන්ධ යම් විද්‍යාත්මක පසුබිමක් ඇත්දැයි සොයාබැලීම නූතන මාධ්‍යකරණයේ අත්‍යාවශ්‍ය අංගයක් වුවද ලංකාවේ මාධ්‍ය ආයතන බොහොමයක් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නනට නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.