Colombo Air Pollution

අද උදෑසන කලාපයේ භයානකම වායු තත්ත්ව දර්ශකය ලංකාවෙන්!

ඉහත සිතියමෙන් දැක්වෙන්නේ අද උදෑසන (2018 නොවැම්බර් 15 දින) කොළඹ නගරයත් කලාපයේ අනෙකුත් නගර වලත් වායු තත්ත්ව දර්ශක අගයයන් http://aqicn.org වෙබ් අඩවිය මගින් දක්වා තිබූ ආකාරයයි. මෙම අගයයන් ඒ ඒ නගර වල පිහිටුවා ඇති වායු තත්ත්ව ගනනය කරන මධ්‍යස්ථාන වලින් එවේලේම ලබා ගන්නා දත්ත ඇසුරින් ගනනය කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ මෙම අගයයන් ලබාගැනීමට දැනට ඇති එකම මධ්‍යස්ථානය වනුයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ආශ්‍රිතව පිහිටුවා ඇති මධ්‍යස්ථානයයි. ඒ අනුව අද උදෑසන කොළඹ වායු තත්ත්ව දර්ශකය 179 ක් වැනි ඉහළම අගයයක් පෙන්නුම් කර තිබුනා. මෙවන් අගයයක් වායු දූෂණය අතින් ඉතාම භයානක තත්ත්වයකට කොළඹ නගරය පත්ව ඇති බව පෙන්වන හොඳම මිනුමක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව අද දින කොළඹ නගරයේ වායු තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සඳහා කිසිසේත් නුසුදුසු බවයි පෙනී යන්නේ. පහත ප්‍රස්ථාරය මඟින් පෙන්නුම් කරනු ලබන්නේ පසුගිය දින 5 ක කාලය තුල කොළඹ වායු තත්ත්ව දර්ශකය වෙනස්ව ඇති ආකාරයයි. එහිදීද  වැඩි කාල පරාසයක් තුල කොළඹ නගරයේ වාතය ආඝ්‍රාණය සඳහා නුසුදුසු මට්ටමක තිබූ බවයි පෙනී යන්නේ.

 

වායු දූශණය – ගෝලීය අර්බුධයකි

වර්ථමානයේ ලෝකය පුරා බොහෝ දෙනා අවධානය යොමු කරන පාරිසරික ගැටළුවක් ලෙස වායු දූශණය හැඳින්විය හැකියි.  කාර්මීකරණයත්, නාගරීකරණයත්, අධික වාහන භාවිතයත් වායු දූශණය ප්‍රභල පාරිසරික ගැටළුවක් බවට පත් වීමට ප්‍රධාන හේතු බවට පත්ව තිබෙනවා. ලොව පුරා රටවල් බොහොමයක් සිය නගර ආශ්‍රිත වායු දූශණය පිළිබඳ ඉහල අවධානයක් යොමු කිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව බොහෝ දියුණු හා දියුණුවෙමින් පවතින රටවල් සිය ප්‍රධාන නගර ආශ්‍රිත වාතයේ සංඝටකයන් නිරතුරුවම ගනනය කරමින් එම වාතය එම නගර වාසීන්ට හිතකර මට්ටම් වල රඳවා තබා ගැනීමට විවිධාකාරයේ උත්සාහයන් දරමින් සිටිනවා.

ප්‍රධාන වායු දූශක

අප අවට වායුගෝලයට එක්වන මිනිසාට හා අනෙකුත් ජීවීන්ට හානිදායී විය හැකි සංඝටක වායු දූශක ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම හානිකර සංඝටකයන් වායූන්, බඳිති, දුහුවිලි අංශු, වාශ්ප ආදී නොයෙකුත් ස්වභාවයන්ගෙන් වාතය හා එක්විය හැකියි. එමෙන්ම මේවා මානව ක්‍රියාකාරකම් නිසා මෙන්ම ස්වභාවික සංසිද්ධීන් නිසාත් හට ගන්න පුළුවන්. පහත දැක්වේන්නේ දැනට වඩාත් බහුලව හමුවන වායු දූශක කිහිපයයි,

කාබන් ඩයොක්සයිඩ් – වඩාත් බහුලව හමුවන හරිතාගාර වායුව වන අතර, ගෝලීය උණුසුම ඉහල යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන වායුවයි. අප අවට වායුගෝලයේ කාබන් ඩයොකසයිඩ් සාන්ද්‍රනය ඉහල යාම සඳහා පොසිල ඉන්ධන දහනය ඉහල යාමත්, වනාන්තර විනාශයත් පුධාන දායකත්වයක් දක්වනවා.

සල්ෆර් ඩයොක්සයිඩ් – ගිණිකඳු ආශ්‍රිතව හා සල්ෆර් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වන කර්මාන්ත ආශ්‍රිතව වාතයට එක්වනවා.

නයිට්‍රජන් ඔක්සයිඩ – වාහන එන්ජීන් ආශ්‍රිතවත් විදුලි කෙටීම් නිසාත් නයිට්‍රජන් වල විවිධ ඔක්සයිඩ වාතයට එක්වනවා.

කාබන් මොනොක්සයිඩ් – පොසිල ඉන්ධන දහනයේදී නිකුත්වන තවත් එක් හානිකර වායුවකි.

වාශ්පශීලී කාබනික සංඝටක – තිනර්, ඉන්ධන වර්ග වැනි පහසුවෙන් වාශ්ප බවට පත්වන කාබනික සංයෝග මෙම ගණයට අයත් වනවා.

අංශුමය පදාර්ථයන් – විවිධ හේතු නිසා වායුගෝලයට එක්වන සැහැල්ලු අංශුමය ද්‍රව්‍ය මෙම ගණයට අයත් වායු දූශක වනවා. විවිධ දුහුවිලි අංශූන්, අළු අංශූන් වැනි ඇසට පෙනෙන නොපෙනෙන අංශුමය පදාර්ථයන්ගෙන් වඩාත් භයානක වන්නේ ඇසට නොපෙනෙන අන්වීක්ශීය අංශූන්ය. මෙම අන්වීක්ශීය අංශූන්  PM 2.5 හා PM 10 අංශූන් ලෙස ඛාණ්ඩ දෙකක් යටතේ වර්ග කර දක්වනවා. මෙම ක්ෂුද්‍ර අණ්වීක්ෂිය අංශූන් වඩාත් භයානක වන්නේ අප සිරුරේ සියළු ආරක්ෂක බැමි හරහා ගොස් කෙලින්ම රුධිරය හා මිශ්‍ර වී සිරුරේ ඕනෑම තැනක් කරා ළඟා විය හැකි බැවිනි.

බැර ලෝහ – ඊයම් සහ රසදිය වැනි බැර ලෝහ වර්ගද අංශූන් ලෙස වායුගෝලයට එක්වි වායු දූශක ලෙස ක්‍රියා කරයි.

ක්ලෝරො ෆ්ලුවරො කාබන් – මෙම වායූන් අතීතයේදී ශිතකරණ සහ විලවුන් බෝතල් වල පිරවුම් කාරක ලෙස භාවිතා වුවද මේ වනවිට රටවල් බොහොමයක මෙම වායුව භාවිතය තහනම් කර ඇත්තේ එමඟින් ඕසෝන් ස්ථරයට වන හානිය සලකා බැලීමෙන් අනතුරුවයි.

ද්වීතියික වායු දූශක – වායුගෝලයට කෙලින්ම නිකුත්වන වායු දූශක නිසා හටගන්නා වෙනත් සංඝටකයන් ද්වීතියික වායු දූශක ලෙස හඳුන්වනවා. භූමි මට්ටමේ හටගන්නා ඕසොන් වායුව මේ සහා හොදම උදාහරණයක් ලෙස ගත හැකියි.

අංශුමය වායු දූශක – අපේ වායුගෝලයේ අණ්වීක්ෂීය මාරයා

අප වායුගෝලයට එකතුවන විවිධ වායු දූශක අතරින් භයානකම වායු දූශක ඛාණ්ඩය ලෙස අංශුමය වායු දූශක හඳුන්වන්න පුළුවන්. මේවායිනුත් වඩාත් භයානක වන්නේ PM 2.5 හා PM 10 අංශු ඛාණ්ඩයන්ය.

PM 10 – මයික්‍රොමීටර් 10 ට වඩා කුඩා අංශුන්

PM 2.5 – මයික්‍රොමීටර් 2.5 ට වඩා කුඩා අංශුන්

.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වර්ශ 2016 දී පමණක් එළිමහන් වායු දූශණය නිසා මිලියන 4.6 ක ජනතාවක් අකල් මරණ වලට ලක්ව මියගොස් තිබුණා. මෙම මරණ වලට හේතුවන ප්‍රධානතම වායු දූශකය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වන්නේ මයික්‍රෝන 2.5 ට වඩා කුඩා අංශුමය වායු දූශකයන්ය. ඊට හේතුව මෙම අතිශය කුඩා අංශු අපගේ ශවසන පද්ධතියේ සියළු ආරක්ෂිත බැමි සියල්ල හරහා ගොස් රුධිරය හා මිශ්‍රවී හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි රෝගාබාධ රැසකට මඟපාදන නිසාය.

වර්ශ 2005 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ වායු දූශකයන්ගේ අහිතකර නොවන උපරිම මට්ටම් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව අපගේ එළිමහන් වාතයේ තිබිය හැකි උපරිම PM 2.5 සහ PM 10 අගයයන් පහත පරිදි වනවා.

PM2.5 උපරිම අගයයන්

10 μg/m3 වාර්ශික මධ්‍යන්‍යය
25 μg/m3 දෛනික මධ්‍යන්‍යය

 

PM10  උපරිම අගයයන්

20 μg/m3 වාර්ශික මධ්‍යන්‍යය
50 μg/m3 දෛනික මධ්‍යන්‍යය

 

කොළඹ නගරය – වායු දූශණය අතින් භයානක තත්ත්වයක

Breathlife2030.org වෙබ් අඩවියට අනුව කොළඹ නගරයේ PM2.5 වාර්ශික මධ්‍යන්‍යය ලෙස සටහන්වන්නේ 36 μg/m3 පමණ ඉහල අගයයක්. ඒ අනුව කොළඹ නගරය තුල වායු දූශණය ඉතා භයානක මට්ටමකට පැමීන ඇති අයුරු දැකගන්න පුළුවන්. මෙම වෙබ් අඩවියට අනුව වායු දූශණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුල වසරකට මරණ විසිදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්ථාවනවා. මෙම මරණ අතරින් බොහොමයකට හේතුලෙස මෙම වෙබ් අඩවිය දක්වන්නේ හෘදය ආශ්‍රිත රෝගාබාධයන්ය.

වායු තත්ත්ව නිරීක්ෂණය – අපට ආගන්තුකද?

අප අවට වාතය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට නම් වාතයේ අඩංගු සංඝටක මට්ටම් නිරීක්ෂනය කරන නිරීක්ෂණ මධ්‍යස්ථාන තිබිය යුතුය. බොහෝ රටවල් මෙවන් නිරීක්ෂණ මධ්‍යස්ථාන ඔස්සේ ජනතතාවට ඔවුන් ජීවත්වන නගරවල වායුදූෂණ මට්ටම පිළිබඳ දත්ත සජීවීව ලබාදේ. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවන් මධ්‍යස්ථාන ඇත්තේ එකක් පමණි. එයද පවත්වාගෙන යනු ලබන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය මඟිනි. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පවත්වාගෙන යනු ලබන එක් මධ්‍යස්ථානයක් කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටා තිබුනද එයද ක්‍රියාකාරී මට්ටමක නොපවත්න බවයි වාර්ථාවන්නේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටක කිසිසේත් බලාපොරොත්තු විය යුතු තත්ත්වයක් බවයි වායු දූශණය සම්බන්ධව ක්‍රියාකරන විද්‍යාඥයින් හා පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ඉහලම වායු දූශණයක් ඇති බව සැලකෙන නුවර නගරය සහ වායු දූශණයට පහසුවෙන් ලක්විය හැකි නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය ආශ්‍රිත ප්‍රදේශය සහ කොළඹ නගරය වැනි ස්ථාන ආශ්‍රිතව මෙවන් මධ්‍යස්ථාන පිහිටුවා වායු දූශණය පිළිබඳ දත්ත ලබා ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.

Air Quality Monitoring
තායිලන්තයේ බැංකොක් නගරයේ පිහ්ටුවා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානයක්. තායිලන්තය පුරා මෙවන් මධ්‍යස්ථාන 63 ක් පිහිටුවා තිබෙනවා.

පහත සිතියමෙන් දැක්වෙන්නේ ඉන්දුනීසියාවේ මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථාන 8 ක් පිහිටුවා ඇති ස්ථානයි. මෙම මධ්‍යස්ථාන 8 සහ තවත් මධ්‍යස්ථාන දෙකක් ඔස්සේ එම නගර ආශ්‍රිතව වායු තත්ත්වය නිරතුරුවම ගනනය කරමින් අදාල දත්ත ජනතාවට ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.