Kepler mission

වසර නවයක සේවය නිමකරමින් අවසන් ගමන් යන කෙප්ලර්

පසුගිය වසර කිහිපයක් පුරාවට ඈත අභ්‍යවකාශයේ ඇති තාරකා වටා කක්ෂගතව ඇති ග්‍රහලෝක පිළිබඳ නොයෙකුත් සොයාගැනීම් රාශියක් සඳහා දායකත්වය දැක්වූ ප්‍රධාන අභ්‍යවකාශ දුරේක්ෂ අතරින් එකක් තමයි කෙප්ලර් දුරේක්ෂය. වසර නවයක් පුරා අභ්‍යවකාශයේ රැඳෙමින් ඈත අභ්‍යවකාශයේ තාරකාවන් පිළිබඳ ඔත්තු බැලූ මේ යානාවේ සේවා කාලය නිමා වූ බව පසුගියදා නාසා ආයතනය දැනුම් දුන්නා. මෙම සේවා කාලය තුලදී කෙප්ලර් දුරේක්ෂයේ දත්ත ඔස්සේ අපගේ සෞරග්‍රහමණ්ඩලයට පිටතින් පිහිටන ග්‍රහලෝක 2600 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වුනා. මෙම ග්‍රහලෝක අතරින් බොහොමයක් පෘථිවිය හා සමාන ජීවීන් හට ගත හැකි සීමාව තුල පවතින ඒවා වීමද විශේෂයි.

kepler
කෙප්ලර් දුරේක්ෂය හා සම්බන්ධ වැදගත් තොරතුරු සැකෙවින්
වසර 9.6 – අභ්‍යවකාශයේ ගත කල කාලය / 530506 – නිරීක්ෂණය කල තාරකා ප්‍රමාණය / 2662 – තහවුරු කරගත් ග්‍රහලෝක ප්‍රමාණය
61 – සොයා ගත් සුපර්නෝවා ප්‍රමාණය / 3.12 – භාවිතා කල ඉන්ධන ගැලුම් ප්‍රමාණය / 678 – එකතු කළ විද්‍යාතමක දත්ත ගිගා බයිට් ප්‍රමාණය
732128 – විධානයන් ප්‍රමාණයක් හසුරුවා ඇත / මිලියන 94 – පෘථීවියේ සිට දුර සැතපුම් වලින් (රූප සටහන – නාසා ආයතනය)

2009 මාර්තු 6 වනදා අභ්‍යවකාශ ගත කෙරූ මෙම දුරේක්ෂය ඈත අභ්‍යවකාශයේ පිහිටන තරු වල දීප්තිය ඉතා සූක්ෂම ආකාරයෙන් නිරීක්ෂණය කිරීමට හැකි ඒ වන විට පැවති අති දියුණුම කැමරා පද්ධති වලින් සමන්විතව තිබුණා.
මෙහිදී මෙම දුරේක්ෂය දිගු කාලයක් පුරාවට අහසේ තියුණු ප්‍රදේශයක් වෙත යොමුකර තබා එම ප්‍රෙද්ශයේ ඇති තාරකා වල දීප්තිය පිළිබඳ දත්ත ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. මෙම දීප්තිය පිළිබද දත්ත ඇසුරින් විද්‍යාඥයින් හට තාරකා වටා පිහිටන ග්‍රහලෝක පිළීබඳ අදහස් ලබා ගැනීමට හැකියාව ලැබුනා. ඒ අනුව තාරකාවක දීප්තියේ සිදුවන ඉතා සුළු අඩු වැඩි වීමක් පවා ග්‍රහණය කිරීමට කෙප්ලර් දුරේක්ෂය සමත්කම් දැක්වූවා.
කෙප්ලර් දුරේක්ෂයෙන් පසුව ඈත අභ්‍යවකාශයේ ග්‍රහලෝක පිළිබද අධ්‍යනයන් සඳහා මේ වසරේ අප්‍රියෙල් මාසයේ දී අභ්‍යවකාශ ගත කරන ලද ටෙස් (TESS) නම් දුරේක්ෂය පෙරමුණු ගනු ඇති.

Images – Nasa Kepler mission gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.