Science Film Festival

ශ්‍රී ලංකා විද්‍යා චිත්‍රපට උළෙල – 2018 නොවැම්බර් 2 සිට දෙසැම්බර් 23 දක්වා

නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ සහාය ඇතිව ගොතේ ආයතනය (Goethe Institute) විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා විද්‍යා චිත්‍රපට උළෙල – 2018 ˜ නොවැම්බර් 2 සිට දෙසැම්බර් 23 දක්වා දීපව්‍යාප්තව පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දී දෙවන වරට සංවිධාන කරනු ලබන මෙම විද්‍යා චිත්‍රපට උළෙලෙහි සමාරම්භක උත්සවය 2018 නොවැම්බර් 2 දින පස්වරු 6.00ට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පැවැත්වේ.

ප්‍රාථමික හා ද්වීතීක පාසල් සිසුන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශේෂිත වූ කෙටි විද්‍යා චිත්‍රපට මෙම චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරේ. මෙම විද්‍යා චිත්‍රපට උළෙලේ දී විද්‍යා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමත්, නූතන විද්‍යාත්මක, තාක්ෂණික සහ පාරිසරික ක්ෂේත්‍රය හා සම්බන්ධිත ගැටළු පිළිබඳ දැනුවත් කිරීමත්, ඒ හා සබැඳි අධ්‍යාපනික ක්‍රියාකාරකම් හරහා සිදු කෙරේ.

විද්‍යාත්මක ගැටළු වෙත ප්‍රවේශ වියහැකි අයුරින් හා විනෝදාස්වාදය දනවන අයුරින් ඉදිරිපත් කිරීම හරහා විද්‍යාව යනු අධ්‍යාපනික මෙන්ම වින්දනාත්මක අයුරින් ඉදිරිපත් කළ හැකි විෂයක් බව මෙම චිත්‍රපට උළෙල හරහා පෙන්වා දෙයි. භාෂාමය බාධාවකින් තොරව අන්තර්ගතය අවබෝධ කරගැනීමේ අවස්ථාව නරඹන්නන් වෙත උදාකර දෙනු පිණිස මෙහිදි තිරගත කෙරෙන ඇතැම් චිත්‍රපට සිංහල හා දමිළ බසින් හඬ කවා ඇත.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ දායකත්වයෙන් නොවැම්බර් 02 සිට දෙසැම්බර් 23 දක්වා අතර කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාථමික, සහ ද්විතීක පාසල්හි හා විශ්වවිද්‍යාලයන්හි සහ මහජනතාව ඉලක්ක කරලත් විශේෂ ස්ථානයන්හිදී මෙම විද්‍යා චිත්‍රපට උළෙල තිරගත කෙරෙනු ඇත.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ මෙරට තුළ විද්‍යා අධ්‍යාපනය නංවාලීම අරමුණු කරගත් වැඩසටහන් ගණනාවක් පසුගිය කාල පරාසයේ දී සිදුකර තිබේ. ඉන් එක් අංගයක් ලෙස පසුගිය වසරේ දී, ප්‍රථම ශ්‍රී ලංකා විද්‍යා චිත්‍රපට උළෙල සංවිධාන කළ අතර එය සමාජය තුළ විද්‍යා අධ්‍යාපනය කෙරෙහි තියුණු උද්යෝගයක් නිර්මාණය කිරීමට සමත් විය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මෙම චිත්‍රපට උළෙල ස්ථාන 650ක දී තිරගත කිරීම තුළින් 85,000 ක් තරම් වූ ප්‍රේක්ෂක පිරිසක් ආකර්ශනය කර ගැනීමට සමත් විය.

විද්‍යා චිත්‍රපට උළෙල – 2018 හි ප්‍රධාන තේමාව “ආහාර විප්ලවය˜ යන්නයි. ඒ දියත් කෙරෙන පෝෂණය හා සම්බන්ධිත ගැටළු මෙන්ම මෙම සියවසේ දී ප්‍රධාන අභියෝගයක්ව පවතින ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය ජනගහනයේ පෝෂණ ඉල්ලුම සපුරාලීම, පොදුවේ සහ ශ්‍රී ලංකාවට විශේෂිත වන අයුරින් සාකච්ඡාවට බඳුන් කෙරේ. ඒ සඳහා විද්‍යාත්මක තේමා රාශියක් අතුරින් මෙරටට විශේෂිත හා අදාල වන තේමා 34ක් මෙවර තෝරා ගෙන ඇත. ඒ අනුව මෙම වසරේ විද්‍යා චිත්‍රපට උළෙලේ ප්‍රධාන ලෙසට අවධානය යොමු වන්නේ, රථ වාහන මඟින් පිට කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අභිබවා යමින්, ගෝලීය උණුසුම ඉහල නැංවීමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නා වූ මෙන්ම වටිනා ජල සම්පත විනාශ වී යන ලෙස සහ එය දූෂණයට හේතු වෙමින්, ජෛව විවිධත්වය තුරන්වී යාම ද කඩිනම් කරවීම සඳහා දායකත්වය දක්වන ක්‍රියාවලියක් ලෙස හඳුනාගනු ලැබ ඇති කෘෂිකර්මාන්තයයි. මෙම තිරගත කිරීම් හා සමගාමීව ප්‍රායෝගිකව භාවිතයට ගැනීම හරහා දැනුම වර්ධනය කරවීමේ ක්‍රියාකාරකම් කිහිපයක්ද හඳන්වා දෙනු ලබයි. එකී ක්‍රියාකාරකම් සිදු කරනු පිණිස කොළඹ ගොතේ ආයතනය විසින් රට පුරා ස්ථාපිත කර තිබෙන විදාතා මධ්‍යස්ථානවල, විද්‍යා හා තාක්ෂණ නිළධාරීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඒ සම්බන්ධව පුහුණු කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයින්ගේ ඇකඩමිය සහ ශ්‍රී ලංකා සිංහ සමාජය ද මෙම කර්තව්‍ය සඳහා දායකත්වය දක්වන අතර, අදාල කාලසීමාව තුළ සෑම සිකුරාදා දිනකම ප.ව. 7.00ට ගොතේ ආයතනයේ දී ද මහජනතාව සඳහා මෙම විද්‍යා චිත්‍රපට තිරගත කිරීම් සිදු කෙරෙනු ඇත.

මාධ්‍ය ඒකකය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.