Nobel Prize 2018

2018 වසර සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාග ලාභීන් ප්‍රකාශයට පත්කෙරේ!

2018 වසර සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාග ලාභීන් ප්‍රකාශයට පත්කෙරේ!

මීට සුළු මොහොතකට පෙර ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් ත්‍යාගය සඳහා වන විශේෂ ඒකකය විසින් 2018 වසර සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා හිමිකම් ලබන්නේ පිළිකා මර්ධනය සඳහා නව සිද්ධාන්තයක් ඉදිරිපත් කරනු ලැබූ විද්‍යාඥයින් දෙපලක් වන ජේම්ස් පී ඇලිසන් හා තසුකු හොන්ජෝ යි.

Thasuku Honjo
ජපානයේ කියෝතෝ සරසවියේ විද්‍යාඥ තසුකු හොන්ජෝ

මෙම විද්‍යාඥ දෙපල මගින් පිළිකා සෛල වර්ධනය අඩපන කරමින් තිරිංග ලෙස ක්‍රියා කල හැකි අණුක යාන්ත්‍රණයන් දෙකක් සොයාගෙන තිබුනා. මෙම සොයාගැනීමට අනුව ඇතැම් ප්‍රෝටීන විශේෂ අපගේ ප්‍රතිශක්තිකරණය සඳහා දායක වන සෛල තුල ක්‍රියාත්මක වෙමින් පිළීකා සෛල මර්ධන ක්‍රියාවලිය අඩපන කර දමනවා. මොවුන් මේවා හඳුන්වාදී ඇත්තේ පිළිකා මර්ධනයට එරෙහිව ක්‍රියාත්මක වනක අණුක තිරිංගයන් ලෙසයි. මෙම අණුක තිරිංගයන් ඉවත් කිරීම මගින් අප සිරුරේ පිළිකා මර්ධන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කළ හැකි බව මෙම විද්‍යාඥයින් පෙන්වා දී තිබුණා.

James p Allison
ඇමරිකාවේ ටෙක්සාස් සරසවියේ විද්‍යාඥ ජේම්ස් පී ඇලිසන්

1990 දශකයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වල නියුතුව සිටි ජේම්ස් පී ඇලිසන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම අප ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ටී සෛල ආශ්‍රිතව හමුවන CTLA-4 නම් ප්‍රෝටීනයක් මෙම සෛල වල පිළිකා මර්ධන ක්‍රියාවලිය අඩපන කරමින් තිරිංග ලෙස ක්‍රියා කරන බව සොයා ගනු ලැබුවා. අනතුරුව ජේම්ස් විසින් මෙම ප්‍රෝටීනය හා බැඳිය හැකි විශේෂ ප්‍රතිදේහයක් නිපදවා එය මෙම ප්‍රෝටීනය අක්‍රිය කිරීමට යොදා ගන්නවා. ඒ සමඟම පිළිකා සෛල විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ටී සෛල වලට අවස්ථාව හිමි වනවා. මෙම සිද්ධාන්තය ඔස්සේ පරීක්ෂණ දිගටම කරගෙන යන ජේම්ස් වර්ශ 2010 දී මිනිසුන්ට වැළඳෙන මෙලනොමා නම් චර්ම පිළිකා තත්ත්වය මර්ධනය සඳහා මෙම ක්‍රමය සාර්ථකව යොදා ගන්නවා.

මේ අතර ජේම්ස් පී ඇලිසන්ගේ පර්යේෂණ වලට වසර කිහිපයක පෙර ජපානයේ කියෝටෝ සරසවියේ පර්යේෂණ වල නියුතුව සිටි තසුකු හොන්ජෝ නම් පර්යේශකයා ඉහත ප්‍රෝටීනයට සමාන තවත් ප්‍රෝටීනයක් සොයාගන්නවා, PD-1  ලෙස නම් වන මෙම ප්‍රෝටීනයත් ප්‍රතිශක්ති සෛල හා බැඳුණු අණුක තිරිංගයක් ලෙස ක්‍රියා කරමින් පිළිකා මර්ධන ක්‍රියාවලිය අඩපන කරන බව සොයා ගත්තා. CTLA-4  ප්‍රෝටීනයට මඳක් වෙනස් යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාකරන මෙම ප්‍රෝටීනයත් ප්‍රතිදේහයක් මගින් අඩපන කරල පසු ප්‍රතිශක්ති සෛල වල පිළිකා මර්ධන යාන්ත්‍රණය වේගවත් වන බව ඔහු සොයා ගත්තා.

Nobel Prize for medicine 2018
CTLA-4 සහ PD-1 ප්‍රෝටීන ටී සෛල හා බැඳෙමින් ඒවායේ ක්‍රියාකාරීත්වය අඩපන කර ඇති අයුරු සහ Anti CTLA-4 හා Anti PD-1 යන ප්‍රතිදේහ මගින් ඒවා අක්‍රිය කර ටී සෛල පිළිකා සෛල මර්ධනය සඳහා හැඩගස්සවන අයුරු.

මෙම විද්‍යාඥ දෙපලගේ මෙම විශේෂ සොයාගැනීම නූතන පිළිකා මර්ධන සටනේ අති විශේෂ සංධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ, මේ වන විටත් මෙම යාන්ත්‍රණයන් පදනම් කරගෙන ක්‍රියාත්මක වන නව පිළිකා මර්ධන ප්‍රතිකර්ම පිළිබඳ ලොව පුරා පර්යේෂණ පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.

ඡායාරූප – www.nobelprize.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *