පුරුෂ යට ඇඳුම් වර්ග

ලෝකයම වඳ කරන යට ඇඳුම්!

අපේ රටේ කාලෙන් කාලෙට එන මාතෘකාවක් තමයි කාන්තාවන්ගේ සරු බව එහෙම නැත්නම් දරුවන් සෑදීමේ හැකියාව අඩු කරන නොයෙක් ආහාර, බෙහෙත් පෙති, නොයෙක් දෑ ගැල්වූ යට ඇඳුම් යනාදිය. නමුත් විද්‍යාත්මකව ඒවා එකක් වත් සත්‍යයයැයි තවමත් ඔප්පුවී නැති නිසා ඒවා හුදෙක් කටකතා ලෙස පහසුවෙන් ලඝු කොට දැක්විය හැකියි. නමුත් අද අපගේ මේ හෙලි දරව්ව මුළු ලොවටම ප්‍රශ්ණයක්ව ඇති පිරිමින් වඳ භාවයට හෙවත් මඳ සරු බවට පත් කරන යට ඇඳුම් වර්ගයක් ගැනයි.

පුරුෂ ප්‍රජනක පද්ධතිය අධ්‍යනය කිරීමේදී එහි පුරුෂ ජන්මානු හෙවත් ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ වෘෂණ තුල ඇති ශුක්‍රධර නාළිකා ලෙස හැඳින්වෙන් සිහින් නාල විශේශය තුලයි. පිරිමියෙකුගේ වෘෂණ යුගල පිහිටන්නේ වෘෂණ කෝෂ ලෙස හැඳින්වෙන සිරුරෙන් පිටත පිහිටන පැසක් වැනි ව්‍යුහයක් තුලයි. මෙසේ මෙම වෘශණ යුගල සිරුරෙන් පිටත පිහිටීමට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. වෘෂණ තුල ශුක්‍රාණු නිපදවීමේ කාර්යය කිරීම සඳහා මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකුයි අවශ්‍ය වන්නේ. ඉතින් මෙම වෘෂණ සිරුර තුල පිහිටියානම් උෂ්ණත්වය වැඩිවී ශුක්‍ර නිපදවීමේ ක්‍රියාවලිය අඩපන වන්න තිබුනා. නමුත් දැන් මෙම වෘෂණ සිරුරෙන් පිටත පිහිටන නිසා අදාල ප්‍රශස්ත උෂ්ණත්වය යටතේ උපරිම ශුක්‍රාණු නිෂ්පාදනයක් වන ලෙසටයි පුරුෂ ප්‍රජනක පද්ධතිය හැඩ ගැසී තියෙන්නේ.

පුරුෂ ප්‍රජනක පද්ධතිය
පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ වෘෂණ වල පිහිටීම. (උපුටා ගැනීම http://albiologysinhala.blogspot.com )

අද ලොව පුරා බොහෝ පිරිමින් නිසි දැනුවත් කමකින් තොරව යට ඇඳුම් පැළඳීම නිසා වෘෂණ තුල සිදුවන මෙම ෂුක්‍රාණු නිපදවීමේ කාර්යයට බාධා ඇතිවන බව පසුගියදා කරන ලද පර්යේෂණයකින් ඔප්පු වුනා. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් මෙම පර්යේෂනය සිදුකර තිබුනේ මැසචුසෙට්ස් රොහලේ මද සරුබව සඳහාවන විශේෂ ප්‍රතිකාර ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිනෙන යුගල අතරින් අහඹු ලෙස තොරාගත් අවුරුදු 18ත් 56ත් අතර වන පුරුෂයින් 656 දෙනෙක් යොදා ගෙනයි. මෙම පර්යේෂණයේදී සහභාගී වූ සෑම පුද්ගලයෙකුගේම ශුක්‍රාණු සාම්පලයක් සහ රුධිර සාම්පලයක් පරීක්ෂණය සඳහා ලබා ගත් අතර, ඔවුන්ගේ දින චර්යාවන් සහ ඇඳුම් පැළඳුම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා විශේෂ ප්‍රශ්ණ මාළාවක්ද ඉදිරිපත් කර තිබුණා.

පුරුෂ යට ඇඳුම් වර්ග
ඔබේ යට ඇඳුම් තේරීම ඔබේ වෘෂණ තුල සිදුවන ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලියට කෙලින්ම බලපෑම් එල්ල කරනවා විය හැකියි! (චි්‍ත්‍ර සටහන උපුටා ගත්තේ – https://www.gq-magazine.co.uk/)

මෙම පර්යේෂණයේ ප්‍රථීපල වලට අනුව පර්යේෂණයට සහභාගීවූවන්ගෙන් 53% ක් එනම් 345 දෙනෙක් වඩාත් සැහැල්ලු යට ඇඳුම් (Boxer Shorts) ඇඳීමට පුරුදු වූවන් වන අතර ඉතිරි පිරිස ඇඟට වඩාත් තද යට ඇදුම් (Jockeys and Briefs)  පැළඳීමට හුරු වූවන් වූවා. මෙම සැහැල්ලු යට ඇඳුම් ඇඳි පුද්ගලයින්ගේ ශුක්‍රාණු 25% ක ඉහළ සාන්ද්‍රණයකින්ද, 17% ක ඉහළ ශුක්‍රාණු පුමාණයකින්ද, 33% ක ඉහළ නිරොගී, නිසි පිහිනීමේ හැකියාවෙන් යුතු ශුක්‍රාණු ප්‍රමාණයකින්ද යුතු වුනා. මෙම පුදගලයින්ගේ ලේ පරීක්ෂාවට භාජනය කිරීමේදී මෙම විද්‍යාඥ කණ්ඩායම සොයාගත්තේ සැහැල්ලු යට ඇඳුම් අඳින පුද්ගලයින්ගේ රුධිර ගත FSH හොමෝනය (ස්‍යුනිකා උත්තේජක හොමෝනය) තද යට ඇඳුම් අඳින පුද්ගලයින්ට වඩා 14% ක් අඩු බවයි. මෙම FSH හෝමෝනය මගින් තමයි වෘෂණ තුල ශුක්‍රාණු ජනනය උත්තේජනය කරනු ලබන්නේ. ඒ අනුව මෙම විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ යම් හේතුවක් නිසා තද යට ඇඳුම් භාවිතා කරන්නන්ගේ වෘශණ වලින් මොළයේ පිටියුටරි ග්‍රන්ථියට යැවෙන යම් සංඥාවක් නිසා වැඩි FSH හෝමෝන පුමාණයක් නිපදවෙන බවත් මො හේතුව නිසා වැඩි වේගයකින් ශුක්‍රාණු නිපදවීමට යාමේදී ෂුක්‍රාණු වල ප්‍රමිතිය පහල බසින බව අනුමාන කල හැකි බවයි. ඒ අනුව මෙය තහවුරු කර ගැනීම සඳහා තව දුරටත් පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂණ කණ්ඩායම පවසනවා.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය මින්ගුඒස් අලාර්කොන් පසුගියදා නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක් ඔස්සේ කියා සිටියේ මෙම පර්යේෂණය හරහා පිරිමින් භාවිතා කරන යට ඇඳුම් වර්ගය මත ඔවුන්ගේ ජන්මානු වල තත්ත්වය හා පුමාණය රඳා පවතින අයුරු මෙන්ම මෙම යට ඇඳුම් නිසා ඔවුන්ගේ ප්‍රජනක හෝමෝන වල සිදුවන වෙනස්වීම්ද තහවුරු කල හැකි වූ බවයි.

අතීතයෙදී මෙන් නොව සරම, අමුඩයට හුරුව සිටි වැවු අමුණු ඇළ දොල ගංගා වල සීතල වතුර ස්නානය කල පිරිමින්ට වඩා ඇඟට හිරවුන ඩෙනිම් කලිසම් සහ තදම තද යට ඇඳුම් මෙන්ම උණුවතුර ස්නානය වැනි නවීන පුරුදු වලට හුරුවුනු වර්ථමාන පිරිමින් තුල මෙම මඳ සරුබව දැවෙන ප්‍රශ්ණයක්ව දැනටත් පත්ව අවසන් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

 

ලංකාවේ තත්ත්වය

අතීතයේදී මෙන් නොව ලංකාව පුරාම පාහේ මද සු බව නිසා දරුවන් නොමැති කමින් පීඩා විඳින විවාහක යුවල සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙන්නුම් කරනවා. මෙයට එක් හේතුවක් ලෙස පිරිමින්ගේ ඇඳුම් පුරුදු නිසා ඔවුන්ගේ ශුක්‍රාණු වල තත්ත්වය හා ප්‍රමාණය පහල යාම සැලකිය හැකියි. අතීතයෙදී මෙන් නොව සරම, අමුඩයට හුරුව සිටි වැවු අමුණු ඇළ දොල ගංගා වල සීතල වතුර ස්නානය කල පිරිමින්ට වඩා ඇඟට හිරවුන ඩෙනිම් කලිසම් සහ තදම තද යට ඇඳුම් මෙන්ම උණුවතුර ස්නානය වැනි නවීන පුරුදු වලට හුරුවුනු වර්ථමාන පිරිමින් තුල මෙම මඳ සරුබව දැවෙන ප්‍රශ්ණයක්ව දැනටත් පත්ව අවසන් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ජාතික ජන හා සංඛ්‍යාලේකණ දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවක සිදුකල දරු උපත්  සංඛ්‍යාව 1963 දී 5.6 ක් වූ අතර 2016 වන විට මෙම අගය 2 දක්වා පහළ බැස තිබුණා.

ඉහත දැක්වූ හේතූන් දෙස විමසිල්ලෙන් බලන ඔබත් ඔබේ ඊළඟ සාප්පු සවාරියේදී යට ඇඳුම් තෝරා ගැනීමේදී එහි ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර  බව මතකයේ තබා ගන්න.

 

ලිපියට පාදක වූ පර්යේෂණ පත්‍රිකාව – https://academic.oup.com/humrep/advance-article/doi/10.1093/humrep/dey259/5066758

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.