Persid

වසරේ හොඳම උල්කාපාත වර්ශාව තවත් දින කිහිපයකින්!

වසරේ හොඳම උල්කාපාත වර්ශාව තවත් දින කිහිපයකින්!

අපේ රාත්‍රී අහස දිනපතා සිදුවන මනස්කාන්ත සංසිද්ධීන්ගෙන් ගහනයි. මෙම රාත්‍රී අහසේ සිදුවන විවිධාකාරවූ සංසිද්ධීන් අතරින් වඩාත්ම ප්‍රචලිත වගේම ඉතාම චමත්කාරජනක සිදුවීමක් ලෙස උල්කාපාත වර්ශාවන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වසරේ අපිට දැකගන්න පුළුවන් හොඳම උල්කාපාත වර්ශාව ලෙස සැලකෙන පර්සිඩ් උල්කාපාත වර්ශාව මෙවරත් අගෝස්තු මාසයේ දෙවන සතිය අවසානයේ සිට පුරා සතියක් මුළුල්ලේ අපට දැකගත හැකියි.

උල්කාපාත වර්ශාවක් කියන්නේ මොකක්ද?

අපේ සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්යයා, ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ට අමතරව තවත් ග්‍රහවස්තූන් රැසක එකතුවක් ලෙස හඳුන්වන්න ප්‍රවන්. මෙහිදී ග්‍රහලෝක වලට අමතරව සූරයයා වටා ගමන් කරන වල්ගා තරු හා ග්‍රහක රාශියක් තිබෙනවා. මෙසේ සූර්යා වටා ගමන් කරන ග්‍රහක හා වල්ගා තරු ගමන් කරද්දී ඒවයේ තිබෙන කුඩා දුහුවිලි අංශු පාශාණ කැබලි ඒවා ගමන් කරන මාර්ගය පුරාවට විසිරෙනවා. අප වාසය කරන පෘථිවිය සිය හිරු වටා ගමනේදී මෙවන් වූ දුහුවිලි පාශාණ කැබලි විසිරුන කලාපයක් හරහා ගමන් කිරීමේදී එම පාශාණ කැබලි පාථිවි වායුගෝලය හා ගැටී ගිනිගෙන විනාශවනවා. පෘථීවියේ සිට නිරීක්ෂණය කරන අපට මෙම ගිනිගෙන දැවෙන පාශාණ කැබලි උල්කාපාත ලෙස දර්ශණය වනවා. උල්කාපාත වර්ශාවකදී මෙවන් උල්කාපාත වඩාත් වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඇතැම් විටෙක පැයකට උල්කාපාත 20 – 30 ක සිට උල්කාපාත 500 – 1000 දක්වා ප්‍රමාණයක් විය හැකියි.

පර්සිඩ් උල්කාපාත වර්ශාව හැදෙන්නේ කොහොමද?

ස්විෆ්ට් ටටල් කියල කියන්නේ අපේ සෞර ග්‍රහ මණඩලයට අයිති, සූරයයා වටා ගමන් කරන විශාලතම වල්ගා තරුව ලෙසයි සැලකෙන්නේ, මෙහි විශාලත්වය ගැන කියනවනම් මෙහි න්‍යශ්ඨියේ විශ්කම්භය පමනක් කිලෝමීටර 26 ක් පමණ වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙය අවසාන වරට පෘථිවිය ආසන්යෙන් ගමන් කර තිබෙන්නේ 1992 දී වන අතර නැවතත් 2126 දී පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතයි. ඉතින් මෙම වල්ගාතරුව ගමන් කල ගමන් මාර්ගය හරහා පෘථිවිය ගමන් කිරීමේදී මෙම වල්ගාතරුවෙන් විසිරුන කුඩා පාශාණ කැබලි තමයි මේ උල්කාපාත වර්ශාවේදී  අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. තාරකා විද්‍යාඥයින්ට අනුව මෙම වසරේදී පර්සිඩ් උල්කාපාත වර්ශාවෙදී පැයකට උල්කාපාත 60 – 80 ක පමණ ප්‍රමාණයක් අපේක්ෂා කළ හැකි බවයි පැවසෙන්නේ.

මේ උල්කාපාත වර්ශාව නරඹන්න හොඳම දවස් සහ කාලය මොන වගේද?

මේ උල්කාපාත වර්ශාව ජූලි මාසයේ අගභාගයේ සිට අගෝස්තු මස 25 පමණ දක්වා සක්‍රියව පැවතුනත් උපරිම තීව්‍රතාවකින් යුතුව නිරීක්ෂණය කළ හැකි වන්නේ අගෝස්තු මස 12 වන දා මධ්‍යම රාත්‍රිය ආසන්නයේයි.

මේ උල්කාපාත වර්ශාව නිරීක්ෂණය කරන්න අපට අවශ්‍ය උපකරණ මොනවාද?

කිසිවක් අවශ්‍ය නැහැ. සාමාන්‍යෙයන් උල්කාපාත නිරීක්ෂණය කල හැකි වන්නේ පියවි ඇසින් පමණයි. දුරේක්ෂයක් හෝ දුරදක්නයක් භාවිතාකොට උල්කාපාත නිරීක්ෂණය ප්‍රායෝගික නැහැ. අගෝස්තු මස 11-12 හා 12 – 13 රාත්‍රී කාලයේ සඳ බැසයාමත් සමඟ දැඩි අඳුරු අහස උල්කාපාත නිරීක්ෂණය සඳහා වඩාත් උචිත කාල සීමාව ලෙස දක්වන්න පුළුවන්. සාමාන්‍යෙයන් රාත්‍රී කාලයෙදී අඳුරට ඇස හුරුවීමට විනාඩි 20 ක පමණ කාලයක් ගතවනවා, ඉතින් මේ වගේ චමත්කාරජනක උල්කාපාත වර්ශාවක් නැරඹීමට යම් ඉවසීමකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයයි.

(Featured Image – Wikimedia)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *