Lunar Eclipse

ශ්‍රී ලංකාවට දර්ශණය වන වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය 27 වනදා!

පූර්ණ චන්ද්‍රග්‍රහණයක්, නැරඹීමේ විරල අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට 2018 ජුලි මස 27 වන පොහෝ දින උදාවන අතර එය රාත්‍රී 10.45 ට ආරම්භ වී ජුලි 28 වන දින අලූයම 4.58 ට අවසන් වේ. චන්ද්‍රග්‍රහණයක් පූර්ණ, අර්ධ සහ පෙනියුම්බ්‍රල් (penurambral) ලෙස ප්‍රධාන ආකාර තුනකින් සිදුවන අතර මෙවර (ජුලි 27) අපට දැකගත හැකි වන්නේ මෙම වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණයයි.
චන්ද්‍රග්‍රහණයක් රාත්‍රී කාලයේත්, සූර්යග්‍රයණක් දිවා කාලයේත් අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර වන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ තරම් චමත්කාරජනක නොවූවද චන්ද්‍රග්‍රහණ ඈත අතීතයේ සිට තාරකා විද්‍යාවේ ඉතා වැදගත් ස්වභාවික සංසිද්ධියක් ලෙස සැලකූ බවට සාක්ෂි අතීතයෙන් හමුවේ. සූර්යග්‍රහණ පෘථීවියේ ඉතා සීමිත ප්‍රදේශයකට පමණක් දිස්වන සිදුවීමක් වන අතර එය නැරඹීමට ආරක්ෂක උපක්‍රම භාවිතා කල යුතු වුවත් සාපේක්ෂව චන්ද්‍රග්‍රහණ පියවි ඇසින් නැරඹීමට හැකි මෙන්ම එය පෘථීවියේ විශාල ප්‍රදේශයකටද නිරීක්ෂණය වේ.
චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථීවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථීවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හදුන්වයි. චන්ද්‍රග්‍රහණයක් සිදුවිය හැක්කේ පුර පසලොස්වක දිනයකදී පමණි. චන්ද්‍රයා තාරකා වලට සාපේක්ෂව පෘථීවිය වටා එක් වටයක් යාමට ගතවන කාලය දින 27.32 කි. මෙය තාරකා වලට සාපේක්ෂ (sidereal) චන්ද්‍ර මාසය ලෙස හදුන්වනු ලැබේ. එක් පුර පසලොස්වක දිනයක සිට අනෙක් පුර පසලොස්වක දිනයට ගතවන කාලය දින 29.53 වන අතර මෙය චන්ද්‍රයා සූර්යයාට සාපේක්ෂව පෘථීවිය වටා එක් වටයක් යාමට ගතවන කාලය වේ.

මෙසේ සෑම දින 29.53 කට වරක් චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථීවිය පැමිණියද චන්ද්‍රග්‍රහණයක් සිදුනොවන්නේ මන්ද?
චන්ද්‍රයා පෘථීවිය වටා ගමන්කරන තලය, සූර්යයා – පෘථීවිය ඇති තලයට අංශක 5. 8 ක ආනතියක් දක්වයි. මෙම ආනතිය නිසා චන්ද්‍රයා ගමන්කරන තලය සහ සූර්යයා – පෘථීවිය පිහිටි තලය ස්ථාන දෙකකදී පමණක් ජේදනය වේ. මෙම ලක්ෂ දෙක (nodes) නෝඩ්ස් ලෙස හදුන්වයි. චන්ද්‍රයා භ්‍රමණය වන මෙම තලයද පෘථීවියට සාපේක්ෂව ඉතා සෙමෙන් පෘථීවිය වටා භ්‍රමණය වීම නිසා මෙම නෝඩ්ස් දෙක යම් අවස්ථාවකදී සූර්යයා හා පෘථීවිය සමඟ ඒක රේඛීය වන අවස්ථාවක් උදා වේ. මෙම අවස්ථාවේදී චන්ද්‍රයා පෘථීවියට පිටුපසින් පිහිටි නෝඩය හරහා ගමන් කරයි නම් චන්ද්‍රග්‍රහණයක්ද, පෘථීවිය සහ සූර්යයා අතර පිහිටි නෝඩය හරහා ගමන් කරයි නම් සූර්යග්‍රහණයක්ද සිදුවේ. මෙම නෝඩ දෙක අර්ධ වෘත්තයක, එනම් අංශක 180 පරතරයකින් පිහිටන නිසා සෑම විටම එක් නෝඩ්යක් පෘථීවිය – සූර්යයා සමඟ ඒක රේඛීය වූ විට අනෙක් නෝඩ්යද නිරායාසයෙන්ම ඒක රේඛීය වේ. මේ නිසා බොහෝ විට සූර්යග්‍රහණයක් සමඟ චන්ද්‍ර මාස අර්ධයක් ඇතුලත චන්ද්‍රග්‍රහණයක්ද සිදුවේ. උදාහරණයක් ලෙස 2011 ජුනි 15 වන දින චන්ද්‍රග්‍රහණයට පෙර 2011 ජුනි මස 1 වන දින සූර්යග්‍රහණයක් සිදුවීම දැකිය හැක.
පෘථීවියේ සෙවනැල්ල සහ චන්ද්‍රයාගේ සාපේක්ෂ පිහිටීම අනුව චන්ද්‍රග්‍රහණ පූර්ණ, අර්ධ, සහ පෙනියුම්බ්‍රල් (Penumbral) වශයෙන් වර්ග 3 කට ඛෙදේ. ඡ1 පිහිටීමට අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී පෘථීවියේ කේතුක චායාවට (umbra) චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ඇතුලූ වේ. පූර්ණ චායාවට චන්ද්‍රයාගේ කොටසක් පමණක් ඇතුලූ වීමෙන් අර්ධ චන්ද්‍රග්‍රහණයක් දිස්වන අතර (p2 පිහිටීම) පෙනියුම්බ්‍රල් ග්‍රහණයකදී චන්ද්‍රයා අර්ධ චායාව (penumbra) මතින් පමණක් ගමන් කරයි (p3).

Lunar Eclipse

චන්ද්‍රග්‍රහණයකදී පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන කාල සීමාව ප්‍රධාන වශයෙන් කරුණු 2 ක් මත රදා පවතී. චන්ද්‍රග්‍රහණයේදී පෘථීවියට කොපමණ දුරකින් චන්ද්‍රයා පිහිටන්නේද යන්න පලමු කරුණ වේ. චන්ද්‍රයා පෘථීවිය වටා භ්‍රමණය වනුයේ ඉලිප්සාකාර මාර්ගයක වේ. මෙම ඉලිප්සාකාර මාර්ගයේ පෘථීවිය ආසන්නයේ පිහිටි ලක්ෂය පෙරිජිි (peridgee) ලෙස හදුන්වන අතර පෘථීවියට දුරින්ම පිහිටි ලඬය ඇපොගි (apogee) නම් වේ. පෘථීවියට චන්ද්‍රයා ආසන්නතම අවස්ථාව එනම් පෙරිජි (peridgee) හී දී හෝ ඊට ආසන්න දිනයක චන්ද්‍රග්‍රහණය සිදුවේ නම් චන්ද්‍රයා, පෘථීවියේ පූර්ණ කේතුක ඡායාවේ (umbra) විශාල ප්‍රදේශයක් පුරා ගමන් කිරීමට සිදුවේ. එනම් පූර්ණ ග්‍රහණය වන කාල සීමාව වැඩිවේ. එමෙන්ම චන්ද්‍රග්‍රහණය සිදුවන විට චන්ද්‍රයා පිහිටන්නේ පෘථීවියට ඇති උපරිම දුරින් එනම් ඇපොගි (apogee) හී හෝ ඊට ආසන්නව නම් කේතුවක ඡායාවේ කුඩා කොටසක් හරහා පමණක් චන්ද්‍රයා ගමන් කිරීමෙන් පූර්ණ ග්‍රහණ කාල සීමාව අඩුවේ. එමෙන්ම චන්ද්‍රග්‍රහණ කාල සීමාව තවත් කරුණක් මත රඳා පවතී. එනම් කේප්ලර්ගේ ග්‍රහ චලිත න්‍යායට අනුව පෙරිජි ලෂයේදී චන්ද්‍රයා වේගයෙන් ගමන්කරන අතර ඇපොගිහිදී සෙමින් ගමන් කරයි. එනම් ඉහත ප්‍රතිඵලයම විරුද්ධ ප්‍රතිඵලයන් මෙම චලිතයෙන් ලැබේ. ඒ අනුව මෙම ප්‍රතිඵල දෙකේ සමිශ්‍රණයෙන් ගහ්‍රණ කාල සීමාව තීරණය වේ.

පූර්ණ ග්‍රහණ කාල සීමාව තීරණය වන අනෙක් සාධකය වන්නේ චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයාගේ කේන්ද්‍රයත් පෘථීවියේ කේතුක චායාවේ කේන්ද්‍රයත් අතර ඇති වෙනස වේ. මෙම වෙනස ගැමා (gamma) යන පරාමිතියෙන් දෙනු ලබන අතර පෘථීවියේ සමක අරයේ අගය ඒකක 1 ලෙස ගෙන අර්ථ දක්වනු ලැබේ.

උදාහරණයක් ලෙස චන්ද්‍රග්‍රහණයේදී උපරිම අවස්ථාවේ කේතුක ඡායාවේ කේන්ද්‍රය සහ චන්ද්‍රයාගේ කේන්ද්‍රය සමපාත වුවහොත් γ = 0 අතර පුර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන කාල සීමාව උපරිම වේ. γ හී අගය වැඩිවෙත්ම ග්‍රහණ කාල සීමාවද අඩුවේ.

2008 පෙබරවාරි මස 21 වන දින සිදුවූ චන්ද්‍රග්‍රහණයේ පූර්ණ ග්‍රහණ කාල සීමාව මිනිත්තු 50 පමණක් පමණ විය. මෙම චන්ද්‍රග්‍රහණය සිදුවන විට චන්ද්‍රයා පෘථීවියේ දුරස්ථම ලක්ෂයට ලගා වන දිනය වූ පෙබරවාරි මස 28 වන දිනට ලංව තිබිණ. එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණයට γ හී අගය 0.3992 විය. මේ හේතුවෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයේ කාල සීමාව මිනිත්තු 50 කට පමණක් සීමා විය. 2018 ජුලි මස 27 චන්ද්‍රග්‍රහණයේ ගැමා (gamma) හී අගය 0.1168 වේ. මෙය 0 ට ඉතා ආසන්න බැවින් පූර්ණ ග්‍රහණ කාල සීමාව වැඩිවීමට තවත් හේතු වේ. මේ අනුව ඇසළ පොහෝ දින සිදුවන චන්ද්‍රග්‍රහණයේ පූර්ණ ග්‍රහණ කාල සීමාව පැය 1 මිනිත්තු 43 පමණ වේ. මය 2011 ජූනි මස 15 වන දින පැවති පැය 1 මිනිත්තු 40 ක පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් පසු වාර්තාවන වැඩිම පූර්ණ ග්‍රහණ කාල සීමාව වේ.

සූර්යග්‍රහණයකදී මෙන් නොව චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම වැසී නොයන අතර රතු පැහැති අඳුරු ස්වභාවයක් ගනී. මෙම අඳුරු ස්වභාවයද ග්‍රහණයෙන් ග්‍රහණයට වෙනස් වේ. චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට චන්ද්‍රයාගේ මෙම ඉලිප්සාකාර මාර්ගයේ පිහිටන ස්ථානය අනුව ද චන්ද්‍රයාගේ මතුපිට ප්‍රභාව වෙනස් වේ. චන්ද්‍රග්‍රහණය සිදුවන විට චන්ද්‍රයා පිහිටන්නේ ඉලිප්සාකාර මාර්ගයේ පෘථීවියට දුරින්ම ඇති ලක්ෂය එනම් ඇපොගි (apogee) හි නම්, පෘථීවියෙන් සෑදෙන පූර්ණ ඡායා කේතුවේ අග කොටසට ආසන්නව චන්ද්‍රයා පිහිටන නිසා චන්ද්‍රග්‍රහණයේදී වූවද චන්ද්‍රයා තරමක් ආලෝකමත් වේ. නමුත් චන්ද්‍රග්‍රහණය වන විට චන්ද්‍රයා පෘථීවියට ආසන්නතම ලඬය එනම් පෙරජිි (perigee) හි පිහිටියේ නම් චන්ද්‍රග්‍රහණයේ දී පෙර අවස්ථාවට වඩා චන්ද්‍රයා අඳුරු වේ. පෘථීවියේ ඇති ගණ වායු ගෝලය නිසා සූර්යයාගේ සිට එන ආලෝක කිරණ වල ඇති නිල් වර්ණය වායුගෝලය මගින් අධිකව විසිරෙන අතර රතු වර්ණය විසිරණය අවම වී වායුගෝලයෙන් වර්තනය වී කි.මී. 260,000 පමණ දුරකදී අභිසාරී වේ. නමුත් චන්ද්‍රයා පිහිටන්නේ සාමාන්‍යයෙන් කි.ම්. 356,400 පමණ දුරින් නිසා මෙම රතු වර්ණයට අදාල ආලෝක කිරණ චන්ද්‍රයා මතට පතිත වීමෙන් චන්ද්‍රයා රතුවර්ණයට හුරු අඳුරු වර්ණයකින් දිස්වේ.
පෘථීවි වායුගෝලයේ ඇති දූවිලි අංශු ප්‍රමාණය වැඩිවත්ම චන්ද්‍රයා මතට වර්තනය වන ආලෝක ප්‍රමාණයද අඩු වේ. මේ නිසා පෘථීවි වායුගෝලයේ දූවිලි අංශු ඝනත්වය වැඩි වුවහොත් චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා තව දුරටත් අඳුරු වේ.

චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට විශේෂ ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය නොවන අතර පියවි ඇසින් හෝ දුරදක්නයකින්, ප්‍රිස්මදෙනෙතියකින් වැනි ප්‍රකාශ උපකරණයක් තුලින්ද නැරඹිය හැකි වේ. චන්ද්‍රග්‍රහණයේ කාල වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් පහත දැක්වේ.

Lunar Eclipse

පිහිටීම වේලාව
P1 22:44:49 ජුලි 27
U1 23:54:27 ජුලි 27
U2 01:00:15 ජුලි 28
උපරිමය 01:52:54
U3 02:43:12
U4 03:49:00
P4 04:58:37

ජනක අඩස්සුරිය
තාරකා විද්‍යා අංශය
ආතර් සී ක්ලාක් ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.