නැනෝතාක්ෂණය

නැනෝතාක්ෂණය හඳුනාගනිමු ලිපි අංක 1 – ඉතිහාසය

විද්‍යාවේ දියුණුවත් සමඟ ලොව ඉදිරියට යද්දී නොයෙකුත් නව සොයාගැනීම් ඔස්සේ මානව සංවර්ධනයේ නවමු මංපෙත් නිරතුරුවම විවරවෙනවා. මෙසේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් විවරවූ නවතම මාවතක් ලෙස නැනෝ තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකන් සයන්ටිස්ට් අන්තර්ජාල සිංහල වෙළුමේ මේ අපේ වෑයම නැනෝ තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ දැණුම ලිපි පෙලක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමටයි. ඒ අනුව අද සිට මෙම ලිපි පෙල සතිපතා ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්.

 

නැනෝ තාක්ෂණය හඳුනාගනිමු ලිපි අංක 1 – ඉතිහාසය

Richad Fayman
නැනෝ සංකල්පය මුලින්ම ලොවට ඉදිරිපත් කල රිචඩ් ෆේමන්. (Image – Wikipedia)

නැනෝ තාක්ෂණය පිළිබඳ ඉතිහාසය 1950 දශකය දක්වා දිව යයි. 1959 දී නැනෝ තාක්ෂණය පිළිබඳ සංකල්පය මුලින්ම ලොවට ඉදිරිපත් කරනු ලැබූවේ රිචඩ් ෆේමන් නම් විද්‍යාඥයා විසින් කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේදී පැවැත්වූ දේශණයකදී “පතුලෙහි ඇති තරම් ඉඩ ඇත“(“There’s plenty of room at the bottom”) යන දේශණය හරහායි. සිය දේශනය තුල දී පදාර්ථයන් එක් එක් පරිමාණයන්හීදී සිය භෞතික ගුණාංග වෙනස් කරගන්නා ආකාරය මෙන්ම පරමාණු හා අණු භාවිතා කර භාවිතා කර විවිධ නිෂ්පාදන සිදු කිරීම පිළිබඳවත් ඔහු සාකච්ඡා කලේය. නමුත් ඔහුගේ දේශණය තුලදී නැනෝටෙක්නොලොජි යන යෙදුම එහිදී භාවිතා නොවින.

Erik Dexler
“නැනෝතාක්ෂණයේ පියා“ එරික් ඩෙක්ස්ලර්! (Image -, Wikipedia)

නැනෝතාක්ෂණය යන යෙදුම මුලින්ම භාවිතා කලා යැයි සැලකෙන්නේ ජපන් ජාතික විද්‍යාඥ නොරියෝ තනිගුචි නම් විද්‍යාඥයා විසින් 1974 දීය. නමුත් එම භාවිතාව වඩාත් ප්‍රතලිග වූයේ 1986 දී එරික් ඩෙක්ස්ලර් නම් ඇමරිකානු විද්‍යාඥයා විසින් ඔහුගේ Engines of Creation: The Coming Era of Nanotechnology යන පොත හරහායි. මෙම පෙතෙන් ඩෙක්ස්ලර් ඇරඹි නැනෝ තාක්ෂණය පිළිබඳ මෙහෙවර තවත් අංශ ගණනාවක් කෙරෙහි විහිදුන අතර මේ නිසාම “නැනෝ තාක්ෂණයේ පියා“ ලෙස විරුදාවලි ලබන්නේද එරික් ඩෙක්ස්ලර් ය.

මේ අතරම 80 දශකයේ අග භාගය වන විට නැනෝ තාක්ෂණය හා සම්බන්ධ නොයෙකුත් සොයාගැනීම් හා නව නිශ්පාදන ලොව පුරා වාද්‍යාඥයින් අතින් කල එලි දකිනවා. මෙම නිෂ්පාදනයන් සඳහා වැඩිම දායකත්වයක් සපයන්නේ 1981 දී සොයා ගැනුනු නවතම පරිලෝකන ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ තාක්ෂණයක් වන Scanning Tunneling Microscopy තාක්ෂණයත් සමඟයි. මෙම තාක්ෂණය ඔස්සේ පරමාණුක මට්ටම දක්වාම පදාර්ථයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව විද්‍යාඥයින් හට ලැබුනු අතර මේ හේතුව නිසාම ඔවුන් හට නව නිශ්පාදන සඳහා යොමුවීම වඩාත් පහසු විය.

Fullerene
හැරී ක්‍රොටෝ, රිචඩ් ස්මැලී හා රොබට් කර්ල් නම් විද්‍යාඥයින් තිදෙනා විසින් නිපදවන ලද කාබන් පරමාණු 60 කින් සමන්විත නැනෝ ව්‍යුහයක් වන ෆුලරීන් (Image – Wikipedia)

මේ අතර නැනෝ තාන්ෂණයේ පෙරලියක් ඇතිකරන නිෂ්පාදනයක් 1985 දි එළි දකිනවා. ඒ හැරී ක්‍රොටෝ, රිචඩ් ස්මැලී හා රොබට් කර්ල් නම් විද්‍යාඥයින් තිදෙනා විසින් නිපදවන ලද කාබන් පරමාණු 60 කින් සමන්විත නැනෝ ව්‍යුහයක් වන ෆුලරීන් නම් ගෝලාකාර අණුවයි. මෙම සොයාගැනීම සඳහා වර්ශ 1996 දී මෙම විද්‍යාඥයින් හට නොබෙල් තෑග්ග පවා හිමි වනවා. ඉන් අනතුරුව තවත් විවිධ සොයාගැනීම් රාශියක් කෙටි කාලයක් තුල එළි දැක්වෙනවා. මෙම සොයා ගැනීම් අතර කාබන් නැනෝ නළ, තලීය ග්‍රැෆීන් ව්‍යුහයන් වැදගත් තැනක් ගන්නවා.

වර්ශ 2000න් පසු නැනෝ තාක්ෂණය හා සම්බන්ද නිෂ්පාදන රැසක් වෙළඳපොලට පැමිණෙනවා. මේවා අතරින් කිහිපයක් පහත දැක්වෙනවා.

  • රිදී නැනෝ අංශු පදනම් කරගත් ක්ෂුද්‍ර ජීවී නාශක ආලේපන
  • කාබන් නැනෝ නළ ආශ්‍රිත සවිශක්තියෙන් ඉහල සැහැල්ලු නිෂ්පාදන
  • ජලභීතික තීන්ත වර්ග
  • විවිධ සුවිශේෂී ගුණයන්ගෙන් යුත් ඇඟළුම් වර්ග

 

මෙම තාක්ෂණික පෙරලීන්ද සමඟින් ලොව පුරා රටවල් නැනෝ තාක්ෂණය පිළිබඳ සිය අවධානය වැඩි කල අතර බොහෝ රටවල් නැනෝතාක්ෂණය සඳහා වන පර්යේෂණ සඳහා වැඩි මූල්‍ය හා සම්පත් දායකත්වයක් ලබා දීමට පෙළඹිණ. මේ හේතුව නිසාම ලොව පුරා නැනෝතාක්ෂණය පදනම් කරගත් පර්යේෂණ ආරම්භ වූ අතර මෙම පර්යේෂණ බොහොමයක සාර්ථක ප්‍රථිඵල රැසක් මේ වනවිටත් ලොව පුරා ප්‍රායෝගික මට්ටමින් භාවිතයේ ඇති අතර, තවත් බොහොමයක් තවමත් පර්යේෂණ මට්ටමේ පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.