Andromeda

අපේ අහස හරහා පෙනෙන විශ්වයේ අතීතය!

අපේ අහස හරහා පෙනෙන විශ්වයේ අතීතය!

ඔබට ඔබේ ජීවිතයට සම්බන්ධ අතීතයේ සිද්ධි බොහොමයක් මතක ඇතිවාට සැක නැත. ඔබට ඒවා නැවතත් මතකයට නඟා ගත හැකිව ඇත්තේ අපගේ මොලයේ එම දත්ත යම් අයුරකින් ගබඩා වී ඇති නිසයි. එමෙන්ම මීට අවුරුද් 100 ක් 1000 ක් පැරණි කරුණු හා සිද්ධීන් පිළිබඳව බොහෝ දෑ පොත් පත් හා වෙනත් මාධ්‍යයන් ඇසුරින් පහසුවෙන් ලබා ගත හැකියි. තවත් ගැඹුරට සිතුව හොත් මීට අවුරුදු දස දහස් ගනනකට පෙර අප පෘථිවිය හා එහි සිදුවූ දෑ පිළිබදව කරුණු පුරාවිද්‍යාත්මක ගවේශණයන් ඔස්සේ ලබා ගෙන තිබෙනවා. මේ හැම එකක් ඔස්සේම අපට පෙනෙන්නේ අප ජීවත් වන පෘථීවිය හා සම්බන්ධ ඉතිහාසය පමණයි. නමුත් ඔබ නිකමටවත් සිතුවාද අපේ විශ්වයේ අතීතය පිළිබඳව විද්‍යාඥයින් කරණු සොයන්නේ කොහොමද කියල? ඒ සඳහා හොදම සහ පහසුම තැන තමයි අපේ අහස.

අහස හරහා අතීතයට!!!

අපේ අහසේ අපිට දකින්න පුළුවන් පෘථිවියෙන් එහා තියෙන අපිට ළඟම ආකාශ වස්තුව තමයි අපේ සඳ. සඳ පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර 384400  ඈතින්. අපේ ඉර පිහිටලා තියෙන්නේ කිලෝමීටර මිලියන 149.6 ක් ඈතින්. ඉතින් මේ වගේ ලොකු දුරක් ගමන් කරන්න ආලෝකයටත් යම් කාලයක් ගතවෙනවා, මොකද තත්පර එකකදී ආලෝකය රික්තයක් තුලදී ගමන් කරන්නේ කිලෝමීටර 300000 ක් පමණක් නිසා. එතකොට ඉරට තියෙන මුළු දුර සලකල බලපුවාම ඒ දුර ගෙවන්න ආලෝකයටත් විනාඩි 8 කුත් තත්පර 19 ක් ගත වෙනවා.

මේ සංසිද්ධිය දිහා හිතල බැළුවොත් ඔබ යම් මොහොතකදී ඉර නිරීක්ෂණය කරණ විට අපේ ඇසට ඇතුළුවන්නේ හිරුගෙන් ඊට හරියටම විනාඩි 8 කුත් තත්පර 19 කට කලින් නිකුත් වුන ආලෝකය. ඒ කියන්නේ අපිට ඇත්තටම ඉර පේන්නේ සෑම විටම විනාඩි 8 ක් සහ තත්පර 19 ක් අතීතයේ තිබ්බ විදිහටයි.

දැන් අපි හැරෙමු අනික් තාරකාවන් දිහාවට, අපි පොඩි කාළෙ ඉඳන් දන්නා පරිදි අපිට ආසන්නයෙන්ම තියෙන තාරකාව (සූර්යයා හැර) තමයි ප්‍රොක්සිමා සෙන්චූරි කියල කියන්නේ. මේ තාරකාවේ ආලෝකය ප්‍රමාණවත් නැති නිසා පියවි ඇසට නොපෙනෙන නිසා ඒ තාරකා මණ්ඩලයෙම තියෙන ඇල්ෆා සෙන්චූරි තාරකාව ගත්තොත් ඒක පිහිටල තියෙන්නේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 4.3එ ක් අැතින්. ඉතින් ඇත්තටම බැලුවොත් අපිට පේන මේ ඇල්ෆා සෙන්චූරි තරුව අපිට පේන්නේ මීට අවුරුදු 4.37 කට කලින් තිබ්බ විදිහටයි. ඒ කියන්නේ අපි ඇල්ෆා සෙන්චූරි දිහා බලපුවාම අපි ඇත්තටම අපි දකින්නේ ඒ තාරකාවේ අතීතය. මේ වගේම තරමක් ප්‍රසිද්ධ ඒ වගේම දකින්න පහසු තරුවක් තමයි බිටල්ජූස් කියල කියන්නේ. දඩයක්කාරයා තරු රටාවේ එක් උරහිසක් නියෝජනය කරන මේ රතු යෝධ තාරකාව තියෙන්නේ අපනේ ආලෝක වර්ෂ 640 ක් ඈතින්. ඒ කියන්නේ බිටල්ජූස් හරහා අපි දකින්නේ ඒ තරුවේ වසර 640 කට පෙර අතීතය.

පියවී ඇසට පෙනෙන දුරින්ම පිහිටන ආකාශ වස්තුව!

Andromeda
පියවි ඇසට පෙනෙන අපිට දුරින්ම පිහිටන ආකාශ වස්තුව – ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය (Image Wikipedia)

පියවි ඇසට පෙනෙන අපේ අහසේ ඈතින්ම තියෙන වස්තුව විදිහට සැලකෙන්නේ ආලෝක වර්ෂ මිලියන 2.5 ක් ඈතින් පිහිටන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. මෙය අපේ උතුරු අහසේ ඉතාම දුරුවල ආලෝක ලපයක් විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ මන්දාකිණිය අපේ ඇසට පෙනෙන්නේ මීට වසර මිලියන 2.5 කට පෙර තිබූ ආකාරයටයි.

ඉතින් අන්න ඒ විදිහටයි අපි රෑ අහස හරහා අපි අපේ විශ්වයේ අතීතය දකින්නේ.

 

විශ්වයේ අතීතය හාරා අවුස්සන දුරේක්ෂ

Hubble Space Telescope
හබල් දුරේක්ෂයේ අළුත් වැඩියාවක් සඳහා යන අතරතුරදී ගන්නා ලද ඡායාරූපයක්. (Image NASA)

දැන් ඔබ දන්නවා අපේ අහස හරහා අපේ විශ්වයේ අතීතය අපිට බලන්න පුළුවන් බව. ඉතින් අහසේ අපිට නිරීක්ෂණය කල හැකි දුර සීමිත නිසා අපට විශ්වයේ අතීතයද පේන්නේ සීමා සහිත දුරකට පමණයි. මේ නිසාම තමයි විද්‍යාඥයින් දුරේක්ෂ භාවිතා කරමින් තව තවත් දුර බලන්න උත්සාහ කරන්නේ. අපට නිරීක්ෂණය කල හැකි දුර වැඩිවන තරමට අපේ විශ්වයේ අතීතය නිරීක්ෂණය කිරීමට අපට ලැබෙන අවස්ථාවද පුළුල් වෙනවා. ඒ අනුව අප සතුව දැනට ඇති වඩාත් දියුණුම දුරේක්ෂය වන හබල් දුරේක්ෂය මේ වන විට නිරීක්ෂණය කර ඇති උපරිම දුරකින් පිහිටි වස්තුව වන්නේ අපට ආලෝක වර්ෂ මිලියන 400 ක් ඈතින් පිහිටි මන්දාකිණියක්. ඒ අනුව එම මන්දාකිණිය මේ වන විට මිනිසා නිරීක්ෂණය කර ඇති විශ්වයේ ඈතින්ම පිහිටි වස්තුව වනවා පමණක් නොව විශ්වයේ අතීතය පිළිබඳව ඇති පැරීණිම සාක්ෂිය ද එය වනවා. මේ මන්දාකිණිය නම් කර ඇතිතේ GN z11 ලෙසයි.

James Webb
2020 දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිත ජේම්ස් වෙබ් දුරෙක්ෂයේ නිර්මිත රූප සටහනක්. (Image – Wikipedia)

 

“ජේම්ස් වෙබ්” විශ්වයේ අතීතයේ තවත් මානයකට අපව රැගෙන යාමට නියමිත නවතම දුරේක්ෂය 

වර්ශ 2020 මැයි මාසයේදී අභ්‍යවකාශ ගතකිරීමට නියමිත ජේම්ස් වෙබ් දුරේක්ෂය හබල් දුරේක්ෂයට වඩා විශාල දුරක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති දුරේක්ෂයක් ලෙසයි නිර්මාණය කෙරෙමින් පවතින්නේ. ඒ අනුව මෙම දුරේක්ෂයේ නිරීක්ෂණයන් ඔස්සේ විශ්වයේ ආරම්භක අවදිය පිළිබඳව වඩාත් පැහැදිලි කරුණු දැන ගත හැකිවෙතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *