කතා කරන ඡායාරූප – ඔබ ඉවතලන පොලිතීන් බෑගයේ භයානක පැත්ත

කතා කරන ඡායාරූප – ඔබ ඉවතලන පොලිතීන් බෑගයේ භයානක පැත්ත

ලෝක පරිසර දිනය මීට දින තුනකට ඉහතදී ලොව පුරා සමරනු ලැබූවේ ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු යන තේමාව යටතේයි. මේ තේමාව මෙවර පරිසර දිනය සඳහා තොරාගනු ලැබුවේ ප්ලාස්ටික්, පොලිතීන් නිසා වන පරිසර දූෂණයේ භයානක පැත්ත පිළිබඳ ලොකය දැනුවත් කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටයි.

පරිසර දිනය යෙදී තිබුනු පසුගිය 5 වනදාට දින 3කට පමණ පෙර තායිලන්තයේ මැලේෂියානු දේශ සීමාවට ආසන්නයේදී පිරිසකට පිහිනීමට හෝ හුස්මගැනීමට නොහැකිව අපහසුවෙන් සිටින පයිලට් තල්මසෙකු හමුවනවා. මෙම සත්ත්වයාගේ දිවි බේරා ගැනීමට සත්ත්ව වේදීන් කණ්ඩායමක් දින 5 ක් පුරා දැරූ වෙහෙස අපතේ යවමින් මෙම සත්ත්වයා අවසානයේ මරුමුවට පත්වනවා. මේ දින 5 ඇතුලතදී මෙම සත්ත්වයා සිය උදරයේ තිබූ පොලිතීන් බෑග් 5ක් වැමෑරූ බව මෙම සත්ත්ව වේදී කණ්ඩායම ප්‍රකාශ කර තිබුනා.

නමුත් වඩාත් භයානක සංසිද්ධියක් අණාවරණය වුනේ මෙම සත්ත්ව සිරුර වෛද්‍ය පරීක්ෂණයට ලක්කිරීමේදීයි. මෙම පරීක්ශණයේදී මෙම සත්ත්වයාගේ උදරයේ සිරවී තිබූ ප්ලාස්ටික් කිලෝ 8 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට වෛද්‍ය කණ්ඩායමට හැකිවනවා. මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර තිබූ පොලිතීන් බෑග් ප්‍රමාණය පමණක් 80 ක් වනවා. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මරණ පරීක්ෂණයේදී සොයාගත් පොලීතීන් බෑග් විද්‍යාගාරයේ බිම අතුරා ඇති ආකාරයයි.

මරණ පරීක්ෂණයේදී සොයාගත් ප්ලාස්ටික් බෑග් එම විද්‍යාගාරයේ බිම අතුරා ඇති අයුරු (Photo – Reddit)

ලොක පරිසර දිනයත් සමඟම සිදුවන මෙම සිද්ධිය ලෝකයේ අවධානයට පාත්‍ර වන්නේ ප්ලාස්ටික් නිසා අප පරිසරයට වන හානිය සහ එහි බරපතල කම මෙම සිද්ධිය හරහා ලොවට පෙන්වන නිසාවෙනි. තල්මස් සහ ඩොල්ෆින් සංරක්ෂණ භාරයේ උතුරු ඇමරිකානු කලාපය බාර විධායක අධ්‍යක්ෂ රෙජිනා සිල්වියා නැෂනල් ජියොග්‍රැෆික් වෙබ් අඩවියට කියා සිටියේ මෙය අපගේ සාගර තුල සිදුවන මහා පරිමාණ ව්‍යවසනයක කුඩා පිළිඹිබුවක් පමණක් බවයි. “මේ අප දැකපු මේ ආකාරයට මියගිය එක් තල්මසෙකු පමණයි, මේ වගේ තල්මසුන් සහ වෙනත් විශේෂ වල සත්ත්වයින් විශාල පුමාණයක් ප්ලාස්ටික් නිසා දවසකට මිය නවා ඇති, නමුත් ඒවා අපට වාර්ථා වන්නේ නැහැ“

 

 

“මෙම සත්ත්වයින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාර ලෙස සිතා රැවටෙනවා, නමුත් මේවා එම සත්ත්වයාගේ ආමාශය තුල සිරවී එය ක්‍රමයෙන් පිරීමට පටන් ගැනීමත් සමඟ එම සත්ත්වයාට වෙනත් ආහාර ලබා ගැනීමේ හැකියාව අඩුවී සත්ත්වයාගේ මුළු ක්‍රියාකාරීත්වයම අඩපන වී සත්ත්වයා අවසානයේ මිය යනවා“

“මෙම සත්ත්වයින් සාගර පරිසර පද්ධතිවල ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන්නන්, මේ හෙතුව නිසාම අපගේ අපද්‍රව්‍ය නිසා මෙම සතුන් මරණයට පත්වීමෙන එම මුළු පරිසර පද්ධතියම අනතුරට පත්වනවා, එය වක්‍රාකාරයෙන් භෙමික පරිසර පද්ධතීනටද බලපෑ හැකියි.“ සිල්වියා මහත්මිය තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *