Nipah Virus

කේරළය කළඹන නිපා වෛරසය!

පසු ගිය සති කිහිපය පුරා මුළු ලොවේම අවධානය ඉන්දියාව දෙසට යොමුවුනේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් පැතිරෙමින් ඇති නිපා වෛරස වසංගත තත්ත්වය නිසායි. මේ වන විට මෙම රොගී තත්ත්වය නිසා කේරලයේ වාර්ථාවී ඇති මරණ සංඛ්‍යාව 18 ක්. මේ  මිය ගිය පිරිස අතර රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ කටයුතු වල නියැලී සිටි  හෙදියකද වනවා.

නිපා වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවන ගණයේ වෛරසයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව දැනට සොයාගෙන ඇති පරිදි විවිධ සත්ත්වයින් හරහා මෙම රෝග කාරක වෛරසය මිනිසා තුලට ඇතුළු විය හැකියි.

නිපා වෛරසය මුලින්ම සොයා ගැනුනේ කොහොමද?

වවුලන්
ලංකාවේද බහුලව හමුවන මා වවුලන් නිපා වෛරසයේ ප්‍රධාන ධාරකයන් ලෙස සැලකෙනවා.

මෙම වෛරසය මුලින්ම වාර්ථා වන්නේ මැලේසියාවේ කැම්පුන්ග් සුන්ගායි නිපා නැමති ප්‍රදේශය ආශ්‍රිතව 1998 දීයි. එහිදී සිදුකල අධ්‍යනයන්ගෙන් හෙළි වුනේ මෛ වෛරසයේ ප්‍රධාන ධාරකයා ලෙස වවුලන් ක්‍රියා කරන බවයි. නමුත් මැලේසියාවේදී මුලින්ම හඳුනාගත් වසංගත තත්ත්වය හටගෙන තිබුනේ ඌරන් හරහා මෙම වෛරසය මිනිසුන් වෙත බෝවීම නිසායි.

1998 සිට අවස්ථා ගනනාවකදී මෙම වෛරසය වසංගත තත්ත්වයන් දක්වා උත්සන්න වූ අයුරු වාර්ථා වී තිබෙනවා

  1. 1998 – මැලේසියාව – 265 දෙනෙකුට ආසාදනය වූ අතර ඉන් 105 දෙනෙක් මිය ගියා. ඌරන්ගෙන් මෛ වෛරසය බෝවී ඇති බව හඳුනාගත් නිසා ගොවිපල ආශ්‍රීතව සිටි ඌරන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට බලධාරීන් පියවර ගත්තා.
  2. 1999 – සිංගප්පූරුව – 11 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වුවද මරන වාර්ථා වුනේ නැහැ.
  3. 2001 – ඉන්දියාව – බටහිර බෙංගාලයේ සිලිගුරී ප්‍රදේශයෙන් මෙම වෛරස ආසාදන තත්ත්වයක් වාර්ථා වූ අතර ආසාදිතයන් 66 දෙනෙක් අතරින් 45 දෙනෙක්ම මරණයට පත්වනවා.
  4. 2004 – බංග්ලාදේශය – වවුලන් ගේ අපද්‍රව්‍යසහිත රට ඉඳි නිසා ව්‍යාප්තවුන වෛරසය නිසා 150 කට ආසන්න පිරිසක් මරුමුවට පත්වුනා.
  5. 2007 – ඉන්දියාවේ බටහිර බෙංගාලවෙන් නැවතත් හමුවන මෙම වෛරසය නිසා මරන 7ක් වාර්ථා වනවා.

 

නිපා වෛරස ආසාදන තත්ත්වයකදී සිරුරේ හටගන්නා රෝගී තත්ත්වයන් මොනවාද?

නිපා වෛරසය නිසා මුලින්ම හටගන්නේ ශ්වසන පදධතිය ආශ්‍රිතව හටගන්නා උග්‍ර සෙම් තත්ත්වයක් වන අතර පසුව එය මොළයේ උණ (Encephalities) තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සිරුරේ වේදනාව, අධික උණ තත්ත්වය මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. මෙම වෛරසය ශරීරගතවී රෝග ලක්ෂණ මතුවීම සඳහා දින 4 සිට 14 දක්වා කාලයක් ගතවිය හැකියි.

 

මේ වෛරසය බෝවෙන්නේ කොහොමද?

මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් රොගී සත්ත්වයින්ගේ හෝ රෝගී පුද්ගලයින්ගේ සිරුරු හා සෘජු ස්පර්ශයෙන් සහ රොගීන්ගේ සහ ධාරක සතුන්ගේ ස්‍රාවයන් හරහා බෝවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ අනුව වාතය හරහා මෙය බෝවීමේ හැකියාව ඉතා අවම බවයි එම සංවිධානය සදහන්කොට තිබෙන්නේ.

 

මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබෙනවාද?

මෙය වෛරස නිසා වැළඳෙන රොගී තත්ත්වයක් නිසා දැනට මෙය සුවකිරීම සඳහා බෙහෙතක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් භාවිතා වන්නේ නැහැ. සිරුරේ ප්‍රතිෂක්තිකරණ පද්ධතිය මගින් වෛරසය මර්ධනය කරන තෙක් රෝගය නිසා හටගන්නා සංකූලතාවන් ගෙන් රෝගියා ආරක්ෂා කරමින් දැඩි අධීක්ෂණයක් මත රෝගියාට රැකවරණය සැලසීම පමණයි දැනට සිදුකරනු ලබන්නේ.

 

ශ්‍රී ලංකාවේ අපි මේ රෝගය සඳහා සූදානම් විය යුත්තේ කොහොමද?

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් මෙම රෝගී තත්ත්වය වාර්ථා වී නොතිබුනත් ඉදිරියේදී ඇතැම් විටෙක අපිටත් මෙම රෝගී තත්ත්වයට මුහුණදීමට සිදුවේවි. එවන් තත්ත්වයකදී මෙම රොගී තත්ත්වය පැිරීම වලක්වාගැනීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි ඉතා වැදගත්.

ඒ අනුව පහත දැක්වෙන විශේෂ ක්‍රියාමාර්ග මෙවන් රෝගී තත්ත්වයකදී වඩා වැදගත් වු ඇති

  1. සතුන් කාදැමු පළතුරු ආහාරයට නොගැනීම
  2. සත්ත්ව මළ මූත්‍රා වලින් අපවිත්‍රවී ඇති කෙසෙල් කොළ, කැන්ද කොළ, නෙළුම් කොළ යනාදිය ආහාර ද්‍රව්‍යඑතීම සඳහා හෝ ආහාර පිළිගැන්වීම සඳහා භාවිතා නොකිරීම
  3. රෝගීන් හා සතුන් සමඟ වැඩ කරයිනම් හෝ පොදු ස්ථාන ආශ්‍රිතව නිරම ගැවසෙයි නම් නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීම සහ ආරක්ෂිත ඇඳුම් භාවිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.