bangabandhu 1

බංගලාශයේ අභ්‍යවකාශ ජයග්‍රහණය – බංගබන්ධු 1

බංගලාශයේ අභ්‍යවකාශ ජයග්‍රහණය – බංගබන්ධු 1

ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මහතා විසින් මුලින්ම ලෝකයට ඉදිරිපත් කල චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය යථාර්තයක් බවට පත්වුනේ වර්ශ 1957 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ලොව මුල්ම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමත් සමඟයි. එතැන් සිට ලොව රටවල් බොහොමයක් මෙම තාක්ෂණය හා බැදෙමින් චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කරන්නේ විවිධ වූ අවශ්‍යතාවන් සඳහායි. එම අවශ්‍යතා අතර යුධමය, කාළගුණ විද්‍යාත්මක, සන්නිවේදන හා ව්‍යාපාරික අවශ්‍යතා ප්‍රමුඛ වුණා.

Bangabandhu 1
බංගබන්ධු 1 චන්ද්‍රිකාවද සමගින් ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගතවීම සඳහා පිටත්වූ මොහොත (ඡායාරූපය – විකිපීඩියා)

තමන්ටම අයත් චන්ද්‍රිකාවක් සහිත නවතම රට බවට පත්වෙමින් බංග්ලාදේශය සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව පසුගිය 11 වන දා අභ්‍යවකාශ ගත කරණු ලැබූවා. ඒ ඇමරිකාවේ ස්පේස් X ආයතනයේ ෆැල්කන් 9 රොකට්ටුවක් ආධාරයෙන්. මෙම චන්ද්‍රිකාව බංගබන්ධු 1 ලෙස නම්කලේ බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස හැඳින්වෙන බංගබන්ධු ශීක් මුජිබර් රහුමාන් මහතා හට ගෞරවයක් ලෙසයි. මෙම චන්ද්‍රිකාව භූ ස්ථායී කක්ෂයක කක්ෂ ගත කර ඇති අතර එය නැගෙනහිර දේශාංශ අංශක 119.1 යන ස්ථානයේ මෙවනවිට ස්ථානගතව තිබෙනවා. මෙම චන්ද්‍රිකාවේ ආයුකාලය ලෙස අපේක්ෂා කරන්නේ අවුරුදු 15ක්.

යුරෝපීය චන්ද්‍රිකා නිෂ්පාදන සමාඟමක් වන තේල්ස් ඇලනියා ස්පේස් සමාගම මඟින් නිපදවනු ලැබූ මෙම චන්ද්‍රිකාවේ මුලු නිෂ්පාදන පිරිවැය ලෙස සඳහන් වුනේ ඇමරිකානු ඩොලර් මිලියන 248ක් ලෙස පැවසෙනවා. මෙම චන්ද්‍රිකාව KU-Band හා C-Band සම්ප්‍රේෂකයන් 40 කින් සමන්විත වන අතර බංග්ලාදේශ විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ මෙම සම්ප්‍රේෂකයන් වෙනත් රටවල් සඳහා බදු පදනම මත විකිණිමට නියමිත බවයි. ඒ අනුව මෙම චන්ද්‍රිකාව කලාපීය රටවල් බොහොමයක විදුලි සංදේශ අවශ්‍යතා සඳහා යොදා ගත හැකි වනු ඇති.

ලංකාවේ චන්ද්‍රිකා සිහිනය

ශ්‍රී ලංකාවද තමන්ගේම වූ චන්ද්‍රිකාවකට දිගු කලක සිට සිහින දකිමින් සිටිනවා. ඒ අනුව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මේ වන විට කුඩා ප්‍රමාණයේ නැනෝ චන්ද්‍රිකා දෙකක් සැලසුම් කරමින් සිටිනවා. වර්ශ 2016 දී ආරම්භවූ මෙම ව්‍යාපෘතිය වසර 5ක කාලයකටයි සැලසුම් කර තිබුනේ. ඒ අනුව මෙම නැනො චන්ද්‍රිකා ව්‍යාපෘතිය වර්ෂ 2021 පමණ වන විට අවසන් කිරීමට නියමිතයි. එවිට ශ්‍රී ලංකාවද චන්ද්‍රිකාවක හිමිකාරීත්වය දරන රටක් වනු ඇති.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *