ඇස්බැස්ටස් මාරයා

නිවසට අරක්ගත් නිහඬ යක්ෂයා- ඇස්බැස්ටස් – දැනුවත් වෙමු ආරක්ෂා වෙමු

නිවසට අරක්ගත් නිහඬ යක්ෂයා- ඇස්බැස්ටස් – දැනුවත් වෙමු ආරක්ෂා වෙමු

ඇස්බැස්ටස් යනු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා වඩාත් ප්‍රචලිත ඉදිකිරීම් ද්‍රව්‍යයකි. ඇස්බැස්ටස් භාවිතයේ පහසුවත්, සහැල්ලු වීමත්, මිලෙන් අඩු වීමත් මෙසේ ප්‍රචලිත වීමට හේතු වී තිබෙනවා.
නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස අප බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වන්නේ අස්බැස්ටස් යනු ලෙව පුරා රටවල් ගනනාවක භාවිතය තහනම් කර ඇති අතිශය පිළිකා කාරක සහ සෞඛයයට අහිතකර ද්‍රව්‍යයක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව 2004 වසරේදී පමණක් ලොව පුරා 107000 ක් දෙනා ඇස්බැස්ටස් හා සම්බන්ධ රෝගී තත්වයන් නිසා මිය ගොස් තිබෙනවා.

මොනවද මේ ඇස්බැස්ටස් කියන්නේ? 
ඇස්බැස්ටස් කියල කියන්නේ සමහර රටවල පොළොවේ ස්වභාවිකව සෑදෙන ඛණිජ වර්ගයක්. 1950 වසරේ සිට පමණ ඇස්බැස්ටස් ලොව පුරා ප්‍රචලිත වුනේ ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍යයක් ලෙසයි. ශ්‍රී ලංකාවේද ඇස්බැස්ටස් 90 දශකයේ මුල සිට බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ වහල සෙවිලි තහඩු ලෙසයි.

ඇස්බැස්ටස් වර්ග 
ලොව පුරා ඇස්බැස්ටස් වර්ග ගනනාවක් භාවිතයේ තිබුණත් වඩාත් බහුලව හමුවන්නේ ප්‍රධාන වර්ග දෙකක් පමණයි. ඒවා නම් සුදු ඇස්බැස්ටස් (ක්‍රයිසොටයිල්) හා නිල් ඇස්බැස්ටස් (ක්‍රොසිඩොලයිට්) යන වර්ග දෙකයි. මේවායින් නිල් ඇස්බැස්ටස් වර්ශ 1997 සිට ලංකාවේ භාවිතය තහනම් කර තිබෙනවා. මීළඟ වසරේ සිට ලංකාවේ තහනම් වීමට නියමිතව තිබුනේ සුදු ඇස්බැස්ටස් ලෙස හැඳින්වෙන ලංකාවේ සෑම තැනකම පාහේ හමුවන සෙවිලි තහඩු නිර්මාණය සඳහා යොදා ගන්නා ඇස්බැස්ටස් වර්ගයයි.

ඇස්බැස්ටස් භයානක වන්නේ කොහොමද? 
ඔබ අවට පරිසරයේ ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන කෙතෙකුත් හමුවනවා ඇති. නමුත් මේවා ඔබේ සෞඛ්‍යයට හානිකරන්නේ යම් ආකාරයකින් ඒ ද්‍රව්‍ය සාදා ඇති ඇස්බැස්ටස් අංශු පරිසරයට නිකුත් වුවහොත් පමණයි. එමනිසා ඇස්බැස්ටස් අඩංගු ද්‍රව්‍ය කැඩීම්, බිඳීම් හා කැපීම් වලට භාජනය නොකර තබා ගැනීම වැදගත්. මෙම ඇස්බැස්ටස් අඩංගු ද්‍රව්‍ය කැඩීම්, බිඳීම් හා කැපීම් වලට ලක් වන විට ක්ෂුද්‍ර ඇස්බැස්ටස් කෙඳිති අවට වාතයට මුසුවන අතර මෙම කෙඳිති ශ්වසන මාර්ගය තුලට ඇතුලු වූ පසු නොයෙකුත් භයානක රෝගාබාධ වැළඳීමේ සම්භාවිතාවක් පවතියි. වඩාත් භයානක වන්නේ මෙම රෝගාබාධ බොහොමයක් ඇස්බැස්ටස් වලට නිරාවරනය වී දිගු කලකින් පසුව මතුවීමයි. අතැම් විටෙක මෙම රෝගලක්ෂණ මතුවීමට වසර 30 සිට 60 දක්වා කාලයක් ගතවිය හැකියි.

ඇස්බැස්ටස් නිසා වැළඳෙන රෝගාබාධ මොනවද?
ඇස්බැස්ටස් නිසා වැළඳෙන රෝග බොහෙමයක් මාරාන්තික වන අතර ඒවා සියල්ල ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන ඒවා වෙයි. පහත දැක්වෙන්නේ එවන් ප්‍රධාන රෝග කිහිපයකි.

1. මීසොතලියොමා – උරස් සහ උදර කුහරය වෙන් කරන ප්‍රාචීරය හා සම්බන්ධ තුනී පටලමය පටකයක් වන මීසොතෙලියම ආශ්‍රිතව හට ගන්නා පිළිකාවකි. ප්‍රතිකාරයක් නොමැත.
2. ඇස්බැස්ටස් ආශ්‍රිත පෙනහලු පිළිකා – පෙනහළු ආශ්‍රිත ශ්වාස නාලිකා තුල ඇස්බැස්ටස් කෙඳිති තැන්පත් වීමෙන් මෙම පිළිකා හට ගනී. දුම්බීම නිසා හට ගන්නා පිළිකා තත්ත්වයනට සමානය.
3. ඇස්බැස්ටොසිස් – ඇස්බැස්ටස් කෙඳිති වලට තදින් නිරාවරනය වීම නිසා මෙම රෝගය ඇතිවේ. මෙහිදී පෙනහළු වල පටක විනාශවී පරිමාව අඩුවීමෙන් හුස්ම ගැනීමේ අපසුතා ඇතිවේ.
4. ප්ලූරා පටලයේ ඝණවීම් – පෙනහළු වටා ඇති ආරක්ෂක පටලය වන ප්ලූරා පටලය ඇස්බැස්ටස් කෙඳිති තැන්පත් වීම නිසා ඝණ තත්වයකට පත්වන අතර මේ නිසා පෙනහළුවල ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.

මෙම සෞඛ්‍යමය හේතූන් මත් පදනම් වෙමින් දැනට රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් ඇස්ඉබැස්ටස් භාවිතය තහනම් කිරීමටත් සීමා කිරීමටත් පියවර ගෙන තිබේ. එමෙන්ම එම රටවල ඇසබැස්ටස් ආශ්‍රිත ද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා විශේෂිත පුහුණුව ලත් කණ්ඩායම් සේවයේ යොදවා ඇත. ඔවුන් විශේෂ ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් ඇස්බැස්ටස් අඩංගු ද්‍රව්‍ය පරිසරයෙන් ඉවත් කිරීමට දායක වේ.

ලංකාවේ තත්ත්වය, 
ඇස්බැස්ටස් ලෙව පුරා ඉතා භයානක හා හානිදායී දෙයක් ලෙස පිළීගැණුනද ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් වල හානිදායී බව පිළිබඳ දැනුවත්කම ඉතා අවම මට්ටමක පවතියි. මේ නිසා ඇස්බැස්ටස් ආශ්‍රිත වැඩකටයුතු වලදී කිසිදු ආරක්ෂිත ක්‍රයාමාර්ගයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. මෙය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුත්තක් වන අතර ඇස්බැස්ටස් තහනම් කිරීමෙන් පමණක් මෙය විසඳිය ඇකි ප්‍රශ්ණයක් නොවන බව පෙනේ. මීට හේතුව මේ වනවිටත් ලංකාව පුරා ඇස්බැස්ටස් ආශ්‍රිත නිශ්පාදන බහුලව විසිරී ඇති බැවිනි. එම නිසා ප්‍රධාන වශයෙන් කල යුත්තේ ලාංකිකයන් මේ ඇස්බැස්ටස් වල භයානක කම පිළිබඳව දැනුවත් කිරීමයි. මෙය පාසැල් මට්ටමෙන්ම ආරම්භ කිරීමට හැකිනම් ඉතා කාර්යක්ෂම බවයි අපේ හැඟීම. නැතහොත් අද රජරට පුරා විසිරී හමුවන වකුගඩු රෝගය මෙන් තවත් වසර කිහිපයකින් ඇස්බැස්ටස් ආශ්‍රිත රෝග රට පුරා ඉස්මතු වීම නොවැලැක්විය හැකිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *